රජය විසින් මෙරට නව පරිවර්තනීය යුගයක් කරා රැගෙන යාමට අපේක්ෂා කරන ගමනේදී ආගමික නායකයින්ගෙන් ලැබෙන මඟපෙන්වීම සහ අනුශාසනා ඉතා වැදගත් වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසා සිටියාය. පසුගියදා බුත්තල සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වුණු විශේෂ පුණ්‍ය මහෝත්සවයකට සහභාගී වෙමින් ඇය මේ බව සඳහන් කළාය. එහිදී උව, වෙල්ලස්ස හා නැගෙනහිර තෙපළාතේ සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ පූජ්‍යපාද ගංගොඩගම විමලරත්න නාහිමියන් වෙත අදාළ සන්නස්පත්‍රය පිරිනැමීම අග්‍රාමාත්‍යවරිය අතින් සිදු විය.
අභිනව නායක ස්වාමීන් වහන්සේගේ වසර 60කට වැඩි පැවිදි ජීවිතය තුළ ධර්ම ශාස්ත්‍රයෙන් මෙන්ම වෛද්‍ය ශාස්ත්‍රයෙන් ජනතාවට ඉටුකළ මෙහෙවර අග්‍රාමාත්‍යවරිය විසින් මෙහිදී ඇගයීමට ලක් කරන ලදී. විශේෂයෙන්ම උන්වහන්සේ පරිවේණාධිපතිවරයෙකු සහ විදුහල්පතිවරයෙකු ලෙස කටයුතු කරමින් මෙරට දරු පරපුරේ අධ්‍යාපනය නංවාලීමට දැක්වූ දායකත්වය ද ඇය සිහිපත් කළාය. මීට අමතරව ආර්ථික අපහසුතා ඇති සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා මූල්‍ය ආධාර සැපයීම සහ ප්‍රදේශයේ දහම් අධ්‍යාපනය දියුණු කිරීම වෙනුවෙන් නායක හිමියන් සිදුකරන සමාජීය මෙහෙවර රජයේ පැසසුමට ලක් විය.
පසුගිය වසරේ ඇති වූ “දිත්වා“ සුළි කුණාටුව හේතුවෙන් ඌව පළාතේ ජනතාව පීඩාවට පත් වූ බවත්, එම ජනතාව නැවත ගොඩනැගීමේ ක්‍රියාවලියේදී ආගමික නායකයින්ගේ ආශිර්වාදය ශක්තියක් වන බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය. නව රජයේ පරිවර්තනීය වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් ජනතාව සමඟ සමීපව කටයුතු කරන ආගමික නායකයින්ගේ උපකාරය අත්‍යවශ්‍ය සාධකයක් බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය. මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.














