ඉන්දියාවේ විසාකාපට්නම් වරාය සහ නැඟෙනහිර ඉන්දීය මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් පැවැති MILAN – 26 බහුපාර්ශ්වික නාවික අභ්‍යාසයට සහ ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණ වැඩසටහනට සහභාගී වූ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‘සාගර’ සහ ‘නන්දිමිත්‍ර’ නෞකා ද්විත්වය සිය මෙහෙයුම් සාර්ථකව නිම කර පසුගිය පෙබරවාරි 27 වනදා මෙරටට පැමිණියේය. කොළඹ වරායට සේන්දු වූ මෙම නෞකා නාවික හමුදා සම්ප්‍රදායානුකූලව උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, මෙම සහභාගීත්වය මඟින් සමුද්‍රීය පාර්ශ්වයන් සමඟ අන්‍යෝන්‍ය අවබෝධය සහ සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාවට මහඟු අවස්ථාවක් හිමි විය.
මෙවර අභ්‍යාසය ‘සමුද්‍රීය ඒකාබද්ධතාව’ සහ “සුහදත්වය, එකමුතුකම සහ සහයෝගීතාව” යන තේමාවන් යටතේ පැවැත්වුණු අතර, වරාය අදියරේදී ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණ, වෘත්තීය අන්තර්ක්‍රියා සහ සංස්කෘතික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණි. ශ්‍රී ලංකා නාවික හමුදා තූර්ය වාදක සහ නර්තන කණ්ඩායම් ජාත්‍යන්තර නගර පෙළපාළිය ඇතුළු උත්සව අවස්ථාවන් වර්ණවත් කිරීමට දායක වූ අතර, එමඟින් සහභාගී වූ අනෙකුත් රටවල් අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට හැකි විය.
MILAN – 2026 අභ්‍යාසයේ මුහුදු අදියර වඩාත් සංකීර්ණ නාවික මෙහෙයුම්වලින් සමන්විත වූ අතර, එයට විදේශීය යුද නෞකා 18ක් ඇතුළුව නෞකා සහ සබ්මැරීන 42ක් මෙන්ම ගුවන් යානා 29ක් එක්ව සිටියහ. එහිදී නෞකා සංග්‍රාමික පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම, සජීවී වෙඩි තැබීම්, දිය යට සංග්‍රාමික අභ්‍යාස සහ හෙලිකොප්ටර් යානා නෞකා මතට ගොඩබැස්සවීම වැනි අභ්‍යාස රැසක් සාර්ථකව සිදු කෙරිණි. මෙවැනි ජාත්‍යන්තර අභ්‍යාසයන්ට එක්වීම මඟින් සමුද්‍රීය මෙහෙයුම් සම්බන්ධ නව දැනුම, උපායමාර්ගික ක්‍රමෝපායන් සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, කලාපීය සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමටත් ශ්‍රී ලංකා නාවික හමුදාවට ඉහළ ප්‍රතිලාභ රැසක් හිමි වේ.














