මහ කන්නයේ වී අස්වනු නෙළීමේ කටයුතු සාර්ථකව සිදු කරගැනීම සඳහා ගොවීන් මුහුණ දෙන ඉන්ධන ගැටලුවට විසඳුම් ලෙස, අස්වනු නෙළන යන්ත්‍ර සූත්‍ර සඳහා අවශ්‍ය ඩීසල් බූලි, කෑන් සහ බැරල්වලට නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ. ඉන්ධන පිරවුම්හල්වලින් ඩීසල් ලබාගැනීමේදී ගොවීන්ට අත්විඳීමට සිදුවූ අපහසුතාවන් සැලකිල්ලට ගනිමින් උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලිස් බලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් මෙම නව වැඩපිළිවෙළ සකස් කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා ප්‍රකාශ කළේය.වී නෙළන යන්ත්‍ර සඳහා
බූලි වලට තෙල් දෙන්න රජයෙන් පියවර
මෙම වැඩපිළිවෙළ යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම කෘෂිකාර්මික කටයුතු සඳහා හිඟයකින් තොරව ඉන්ධන ලබාදීමට අවශ්‍ය ක්‍රමවේද මේ වන විටත් සකස් කර ඇත. පොලිස් ස්ථාන මට්ටමින් අදාළ ගොවි සංවිධාන සහ ගොවි නියෝජිතයන් සම්බන්ධ කරගනිමින්, පොලීසියේ පූර්ණ අධීක්ෂණය යටතේ දිස්ත්‍රික්කයේ ඕනෑම ඉන්ධන පිරවුම්හලකින් මෙම පහසුකම ලබාගැනීමට ගොවීන්ට අවස්ථාව සලසා දී තිබේ.
මේ අතර පොළොන්නරුව සහ මහවැලි බී කලාපයේ ගොවීන්ට ද මෙම සහනය ලබාදීම සඳහා විශේෂ ලිපියක් නිකුත් කිරීමට කටයුතු කරන ලෙස පොළොන්නරුව ගොවිජන සේවා සහකාර කොමසාරිස් අරුණ නිරෝෂන් මහතා සියලුම නිලධාරීන්ට උපදෙස් දී ඇත. ඒ අනුව ගොවිජන සංවර්ධන නිලධාරීන් හරහා අදාළ අනුමැතිය ලබාගෙන කිසිදු බාධාවකින් තොරව අස්වනු නෙළීමේ කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට ගොවීන්ට දැන් හැකියාව පවතී.














