මැදපෙරදිග කලාපයේ වේගයෙන් ව්‍යාප්ත වන යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳාමට සහ ආර්ථික ක්‍රියාකාරකම්වලට එල්ල වී ඇති බාධා පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ඊයේ (03) සිය දැඩි කනස්සල්ල පළ කළේය. වොෂින්ටන් නුවර සිට නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කළේ, වත්මන් තත්ත්වය හේතුවෙන් දැනටමත් ගෝලීය වෙළඳ ගලායාම්වලට බාධා පැමිණ ඇති අතර බලශක්ති මිල ගණන් ඉහළ යාම සහ මූල්‍ය වෙළඳපොළේ දැඩි අස්ථාවරත්වයක් නිර්මාණය වී ඇති බවයි.
මෙම අර්බුදය දැනටමත් පවතින අවිනිශ්චිත ගෝලීය ආර්ථික වාතාවරණය තවදුරටත් සංකීර්ණ කරන බව IMF ආයතනය පෙන්වා දෙයි. කෙසේ වෙතත්, මෙම ගැටුම මැදපෙරදිග කලාපයට හෝ සමස්ත ලෝක ආර්ථිකයට සිදු කරන පූර්ණ බලපෑම තක්සේරු කිරීමට තවමත් කල් වැඩි බවත්, එහි අවසන් ප්‍රතිඵලය තීරණය වන්නේ ගැටුමේ ප්‍රමාණය සහ එය පවතින කාල සීමාව මත බවත් ඔවුන් අවධාරණය කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් ප්‍රකාශ කළේ තමන් වත්මන් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බවයි. එළඹෙන අප්‍රේල් මාසයේදී නිකුත් කිරීමට නියමිත “ලෝක ආර්ථික දැක්ම” (World Economic Outlook) වාර්තාව මගින් මෙම තත්ත්වය පිළිබඳ වඩාත් සවිස්තරාත්මක සහ පුළුල් විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද එම ආයතනය සඳහන් කළේය.














