රටේ ඉන්ධන හිඟයක් ඇතිවේ යැයි පවතින අනියත බිය හේතුවෙන් පසුගිය දින කිහිපය පුරා ඉන්ධන පිරවුම්හල් අසල දැඩි තදබදයක් පැවති අතර, එහිදී ඇතැම් පාරිභෝගිකයන්ගේ අසාමාන්‍ය හැසිරීම් පිළිබඳව බණ්ඩාරගම ප්‍රදේශයේ ඉන්ධනහල් සේවකයෙකු අපූර්ව තොරතුරු රැසක් අනාවරණය කර තිබේ. පවතින තදබදය ඊයේ (03) වන විට තරමක් දුරට පහව ගොස් තිබූ අතර, එම අවස්ථාවේදී සිය සේවා සගයන් සමඟ අදහස් දැක්වූ මෙම සේවකයා පවසා ඇත්තේ එකම යතුරුපැදිය දිනකට හතර පස් වතාවක් ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිමට පැමිණෙන බවයි.
සාමාන්‍ය කාලවලදී රුපියල් 200ක හෝ 300ක ඉන්ධන ලබාගත් පුද්ගලයන් පවා මේ දිනවල රුපියල් 1500ක හෝ 2000ක ඉන්ධන ලබාගැනීමට පෙළඹී සිටින බව ඔහු පවසයි. “රෑ තෙල් ගහපු බයිසිකලේ උදෙත් ආයේ පෝලිමේ. රෑට කොහේ පැදලා එනවද දන්නේ නැහැ,” යනුවෙන් ප්‍රශ්න කරන ඔහු, මෙලෙස අනවශ්‍ය ලෙස තොග රැස්කිරීම හේතුවෙන් පිරවුම්හල්වල තිබූ ඔක්ටේන් 92 සහ 95 යන ඉන්ධන වර්ග දෙකම ඉතා ඉක්මනින් අවසන් වූ බව ද සඳහන් කළේය. මිනිසුන් මෙලෙස කටයුතු කරන්නේ නම් නැවකින් ඉන්ධන ගෙන ආවත් එය ප්‍රමාණවත් නොවන බව ඔහුගේ අදහසයි.
රටේ අනාගතය සහ සංවර්ධනය පිළිබඳව පවතින දේශපාලන ප්‍රකාශ පිළිබඳව ද උපහාසාත්මක අදහසක් පළ කළ මෙම සේවකයා අවධාරණය කළේ, රටක් දියුණු වීමට පෙර මිනිසුන්ගේ ආකල්ප වෙනස් විය යුතු බවයි. අනවශ්‍ය ලෙස බිය වී ඉන්ධන රැස්කිරීම තුළින් සමස්ත පද්ධතියම අර්බුදයකට ලක්වන බවත්, පෝලිම්වල නොසිටිය යුතු මිනිසුන් පවා මෙලෙස පෝලිම් ගැසීම කණගාටුදායක තත්ත්වයක් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.















