හෙළ වෙදකම සුරැකීමේ අරමුණින් ක්‍රියාත්මක සමස්ත ලංකා පුනරුද පදනම සහ සෙත්සඳ වෛකල්පිත විශ්වවිද්‍යාලය එක්ව සංවිධානය කළ වාර්ෂික සහතිකපත් පිරිනැමීමේ සහ සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවැත්විණි. මෙහිදී වර්තමාන රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇගයීමට ලක් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත විශේෂ ප්‍රශංසාත්මක ඇගයීම් සහතිකයක් පිරිනැමීම කැපී පෙනෙන සිදුවීමක් විය.
මෙම උළෙලේදී මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ද ඇගයීම් සිදු කෙරුණු අතර, ජාතික උරුමයන් සහ වටිනාකම් උද්දීපනය කිරීම වෙනුවෙන් ලබාදෙන ‘රූපවාහිනී මාධ්‍ය ගෞරවය – 2026’ සම්මානය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් දිනා ගන්නා ලදී. ජිනීවා මානව හිමිකම් සංවිධානයේ සභාපති වෛකල්පිත වෛද්‍ය විරාජිත් බණ්ඩාර, ආචාර්ය අනුර සී. පෙරේරා සහ මහාචාර්ය එස්. එච්. පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මාන ප්‍රදානය කිරීම් සිදු විය.
කලා සහ රාජ්‍ය සේවා ක්ෂේත්‍රවල නියැලුණු පිරිස් ද මෙහිදී ඇගයීමට ලක්වූ අතර, ඌව පළාත් ප්‍රධාන ලේකම් අනූෂා ගෝකුළ මහත්මිය සහ ප්‍රවීණ කලාකාරිනියන් වන සනෝජා බිබිලේ සහ නදීකා ගුණසේකර යන මහත්මීහු ද සම්මානයෙන් පිදුම් ලැබූහ. විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, දේශීය වෛද්‍යවරුන් සහ කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම උත්සවය මෙරට දේශීය අනන්‍යතාවය සහ වෘත්තීය නිපුණතාවය ඇගයීමට ලක්වූ සුවිශේෂී අවස්ථාවක් ලෙස සනිටුහන් විය.














