ගාල්ල වරායට නාවික සැතපුම් 40ක් පමණ ඔබ්බෙන් වූ දකුණු මුහුදේදී අනතුරට පත් වූ ඉරාන නෞකාවේ සිටි පුද්ගලයන් 30 දෙනෙකු නාවික හමුදා මුදාගැනීමේ කණ්ඩායම් විසින් සාර්ථකව බේරාගෙන තිබේ. අද (04) පෙරවරුවේ අදාළ නෞකාවෙන් ලැබුණු හදිසි ආපදා පණිවිඩයකට (Distress Call) අනුව වහාම ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නාවික හමුදාව, වේග ප්‍රහාරක යාත්‍රා සහ මුදාගැනීමේ කණ්ඩායම් එම ස්ථානය වෙත යොමු කිරීමට පියවර ගත්තේය.
ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කළ පරිදි, මෙම මෙහෙයුම සඳහා නාවික හමුදා යාත්‍රා කිහිපයක්ම දායක වී ඇති අතර, අනතුරට පත් වූවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ ඔවුන් ගොඩබිමට රැගෙන ඒමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සූදානම් කර ඇත. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා සඳහන් කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් ගත යුතු සියලුම ආරක්ෂක සහ පරිපාලනමය ක්‍රියාමාර්ග රජය විසින් දැනටමත් ගෙන ඇති බවයි.
පවතින මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ ඉරාන නෞකාවක් මෙලෙස මෙරට මුහුදු සීමාව ආසන්නයේදී අනතුරට පත්වීම කෙරෙහි ආරක්ෂක අංශවල විශේෂ අවධානය යොමුව තිබේ. නෞකාව අනතුරට පත්වීමට හේතුව තාක්ෂණික දෝෂයක් ද නැතහොත් වෙනත් බාහිර බලපෑමක් ද යන්න පිළිබඳව ඉදිරියේදී විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය. බේරාගත් පිරිස ගාල්ල වරාය වෙත රැගෙන ඒමෙන් පසු ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබා දීමට ද කටයුතු යොදා ඇත.














