මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් මෙරට ඉන්ධන හිඟයක් ඇති විය හැකි බවට පැතිර ගිය කටකතා නිසා පීඩාවට පත්ව සිටි වාහන හිමියන් සහ ජනතාව දැන් යළි සාමාන්‍ය තත්ත්වයට පත්ව සිටිති. පසුගිය දින කිහිපය පුරා ප්‍රධාන නගර මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසල දක්නට ලැබුණු දිගු වාහන පෝලිම් ඊයේ (03) උදෑසන වන විට සම්පූර්ණයෙන්ම පාහේ අවසන් වී ඇති බව වාර්තා වේ. රජය සහ ඉන්ධන සමාගම් දිගින් දිගටම රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවට සහතික වීමත් සමඟ ජනතාව තුළ පැවති නොසන්සුන්කාරී ස්වභාවය පහව ගොස් තිබේ.
ඉන්ධන හිඟයක් පවතින බවට පැතිර ගිය මතය රජය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කිරීමත්, පිරවුම්හල් වෙත බාධාවකින් තොරව ඉන්ධන තොග ලැබීමට සැලැස්වීමත් මෙම තත්ත්වය සමනය වීමට ප්‍රධාන හේතුව වී ඇත. මේ වන විට රථවාහන හිමියන්ට කිසිදු පෝලිමකින් තොරව තමන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් පහසුවෙන් ලබාගත හැකි බව පිරවුම්හල් හිමිකරුවන් තහවුරු කරයි. රට පුරා පැවති කලබලකාරී වාතාවරණය අවසන් වීමත් සමඟ ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය දැන් සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇත.














