ලෝකයේ බලශක්ති ප්‍රවාහනය සඳහා අතිශය වැදගත් වන හෝමූස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) පූර්ණ පාලනය තමන් සතු බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය බලකාය (IRGC) අද (04) නිල වශයෙන් ප්‍රකාශ කළේය. ඉරාන නාවික හමුදාවේ උසස් නිලධාරියෙකු වන මොහොමඩ් අක්බර්සාදේ පවසා සිටියේ, මෙම මුහුදු සීමාව හරහා ගමන් කිරීමට උත්සාහ කරන ඕනෑම නෞකාවකට මිසයිල ප්‍රහාර හෝ ඩ්‍රෝන ප්‍රහාර එල්ල වීමේ දැඩි අවදානමක් පවතින බවයි. ඉරානයේ ‘ෆාර්ස්’ (Fars) පුවත් ඒජන්සිය මගින් නිකුත් කරන ලද මෙම ප්‍රකාශයත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය උණුසුම තවදුරටත් උත්සන්න වී තිබේ.
ලෝකයේ බොරතෙල් සහ ස්වභාවික වායු සැපයුමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ගමන් කරන මෙම ප්‍රධාන නාවික මාර්ගය අවහිර වීම ගෝලීය බලශක්ති අර්බුදයකට මග පාදනු ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ අනතුරු අඟවති. කෙසේ වෙතත්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (03) ප්‍රකාශ කළේ තෙල් ප්‍රවාහන නෞකාවලට ආරක්ෂාව සැපයීම සඳහා අමෙරිකානු නාවික හමුදා යාත්‍රා යෙදවීමට තමන් සූදානම් බවයි. මෙම ප්‍රකාශ දෙක හමුවේ ගල්ෆ් කලාපය තුළ අමෙරිකානු සහ ඉරාන හමුදා අතර සෘජු ගැටුමක් ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇත.
ඉරාන විප්ලවීය බලකායේ මෙම අනතුරු ඇඟවීමත් සමඟ ජාත්‍යන්තර වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් සහ නැව් ගාස්තු ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතී. ඉරානය පවසා සිටින්නේ තම මුහුදු සීමාව ආරක්ෂා කර ගැනීම සඳහා ඕනෑම පියවරක් ගැනීමට තමන් පසුබට නොවන බවයි. මෙම තත්ත්වය හමුවේ ඉන්දියාව සහ චීනය ඇතුළු ආසියානු රටවල් සිය බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳව දැඩි අවධානයෙන් පසුවේ.













