ඇමරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ ඇට්ලන්ටා නගරයේදී හත් හැවිරිදි කුඩා දැරියක වූ සෝයි ප්‍රයිස් (Zoey Price) වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ඇට්ලන්ටා පොලීසිය නිවේදනය කර තිබේ. ඊයේ (මාර්තු 03) පැවති මාධ්‍ය හමුවකදී බලධාරීන් අනාවරණය කළේ 19 හැවිරිදි ප්‍රෙස්ටන් ස්මිත් සහ 17 හැවිරිදි ස්ටීවන් රිචඩ්සන් යන දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
මෙම අවාසනාවන්ත වෙඩි තැබීම සිදුව ඇත්තේ පසුගිය පෙබරවාරි 24 වැනිදා රාත්‍රියේ ඩික්සි හිල්ස් ප්‍රදේශයේ ටයිගර් ෆ්ලවර්ස් ඩ්‍රයිව් හි පිහිටි නිවසකට එල්ල වූ ප්‍රහාරයක් අතරතුරදීය. අහිංසක කුඩා දැරියකගේ ජීවිතය අහිමි කළ මෙම ඛේදනීය සිදුවීම සම්බන්ධයෙන් ඇට්ලන්ටා පොලීසිය සහ එෆ්.බී.අයි (FBI) ආයතනය එක්ව විමර්ශන මෙහෙයවා තිබුණි.
FBI අධ්‍යක්ෂ කාෂ් පටෙල් මහතා ද සිය ‘X’ ගිණුම හරහා මෙම අත්අඩංගුවට ගැනීම තහවුරු කරමින්, සෝයි ප්‍රයිස් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට සහාය වූ ඇට්ලන්ටා FBI නිලධාරීන්ට ස්තුතිය පළ කර තිබේ. ඇයගේ පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් වෙනුවෙන් සිය ශෝකය පළ කළ ඒ මහතා, වැරදිකරුවන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව ද අවධාරණය කළේය.














