ශ්‍රී ලංකාව තුළ සමලිංගික (LGBTQ) ප්‍රජාව ඉලක්ක කරගනිමින් විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක නොකිරීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව නීතිපතිවරයා අද (04) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. මෙරට තුළ LGBTQ කේන්ද්‍ර කරගත් සංචාරක ව්‍යාපෘතියක් ප්‍රවර්ධනය කිරීම සඳහා රාජ්‍ය නොවන සංවිධානයකට (NGO) සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් කලින් නිකුත් කර තිබූ ලිපියක් අවලංගු කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම අධිකරණය හමුවේ ගොනු කර තිබුණි. අදාළ ව්‍යාපෘතිය සඳහා සංචාරක සංවර්ධන අධිකාරිය මගින් ලබා දී තිබූ අනුමැතිය මෙරට සංස්කෘතික සහ නීතිමය රාමුවට පටහැනි බව පෙත්සම්කරුවන්ගේ තර්කය විය. මෙම නඩු විභාගය පැවැති අවස්ථාවේදී පෙත්සම්කරුවෙකු වන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටියේය.
නීතිපතිවරයාගේ මෙම දැනුම් දීමත් සමඟ, මින් ඉදිරියට එවැනි විශේෂිත ප්‍රජාවන් ඉලක්ක කරගත් ප්‍රවර්ධන වැඩසටහන් රජයේ ආයතනයක් ලෙස සංචාරක සංවර්ධන අධිකාරිය විසින් සිදු නොකරනු ඇත. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේදී පොදු සංචාරක ආකර්ෂණයන් කෙරෙහි පමණක් අවධානය යොමු කරන බව මෙහිදී අවධාරණය කෙරිණි. මෙම ප්‍රතිපත්තිමය තීරණය මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ඉදිරි සැලසුම් කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.














