දකුණු කොරියාවේ සති 36ක් පිරුණු බිළිඳෙකු සිසේරියන් සැත්කමක් මඟින් මෙලොවට බිහිකර, අනතුරුව එම බිළිඳා අධිශීතකරණයක දමා ඝාතනය කිරීමේ පුවතක් සම්බන්ධයෙන් එරට අධිකරණය අද (04) සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය. මෙම සිදුවීමත් සමඟ දකුණු කොරියාවේ ගබ්සා නීතියේ පවතින අවිනිශ්චිතභාවය පිළිබඳව දැඩි සමාජ කතාබහක් නිර්මාණය වී තිබේ.
වසර 3ක අත්හිටවූ සිරදඬුවමක් සහ පැය 200ක ප්‍රජා සේවයක් නියම විය. ඇයට මෙලෙස ලිහිල් දඬුවමක් නියම වූයේ දකුණු කොරියාවේ ගබ්සා නීතියේ පවතින නෛතික රික්තකය සහ ඇයට සමාජීය වශයෙන් ලැබිය යුතු සහාය නොලැබීම සැලකිල්ලට ගනිමිනි.
පැමිණිල්ලට අනුව, සති 36ක් වූ බිළිඳා පණපිටින් මෙලොවට බිහිවී ඇති අතර, වෛද්‍යවරුන් විසින් එම බිළිඳා මියයන තෙක් අධිශීතකරණයක බහා තබා ඇත. අනතුරුව මෙය මළ දරු උපතක් ලෙස පෙන්වීමට වෛද්‍ය වාර්තා ද ව්‍යාජ ලෙස සකස් කර තිබේ.
2024 වසරේදී අදාළ තරුණිය විසින් තමන් සති 36ක ගබ්සාවක් සිදු කළ ආකාරය පිළිබඳව යූටියුබ් වීඩියෝවක් පළ කිරීමත් සමඟ මහජන විරෝධයක් එල්ල වූ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය කළ පැමිණිල්ලකට අනුව පොලීසිය විමර්ශන ආරම්භ කළේය.
2019 වසරේදී දකුණු කොරියානු ව්‍යවස්ථාදායක අධිකරණය ගබ්සා තහනම ඉවත් කළ ද, ඒ වෙනුවට නව නීති සම්පාදනය කිරීමට පාර්ලිමේන්තුව මෙතෙක් අපොහොසත් වී ඇත. මේ හේතුවෙන් දැඩි ප්‍රමාද වූ ගබ්සා කිරීම් සම්බන්ධයෙන් නඩු පැවරීමේදී අභිචෝදකයන් විසින් ඒවා ‘මිනීමැරුම්’ ගණයෙහි ලා සලකනු ලබයි.














