නේපාලයේ හෙට (05) පැවැත්වීමට නියමිත තීරණාත්මක මහ මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අරමුණින් කත්මණ්ඩු නිම්නයේ වෙසෙන ලක්ෂ අටක (800,000) පමණ ජනතාවක් පසුගිය සතියේදී සිය ගම්බිම් බලා පිටත්ව ගොස් ඇති බව එරට බලධාරීහු පවසති. නේපාලයේ මිලියන 30ක් වන සමස්ත ජනගහනයෙන් දහයෙන් එකක් පමණ අධ්‍යාපන සහ රැකියා කටයුතු සඳහා අගනුවර වන කත්මණ්ඩු නිම්නයේ පදිංචිව සිටිති.
මෙම මැතිවරණය පවත්වනු ලබන්නේ 2025 සැප්තැම්බර් මාසයේදී තරුණ පරපුරේ මූලිකත්වයෙන් ඇති වූ දූෂණ විරෝධී දැවැන්ත මහජන විරෝධතාවලින් එවකට පැවති රජය බිඳවැටීමෙන් පසුවය. එම විරෝධතාවලින් පසු පත් වූ සුශීලා කාර්කි මහත්මියගේ අන්තර්වාර රජයෙන් අනතුරුව පවත්වන පළමු මැතිවරණය මෙයයි.
නේපාල නීතියට අනුව සෑම පුරවැසියෙකුම තමන් ලියාපදිංචි වී ඇති මැතිවරණ කොට්ඨාසයේම (බොහෝ විට උපන් ගමෙහි) ඡන්දය ප්‍රකාශ කළ යුතුය. විදේශගතව සිටින නේපාල වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි නොවේ.
අපේක්ෂකයින්: පාර්ලිමේන්තු ආසන 275ක් සඳහා අපේක්ෂකයින් 6,500කට අධික පිරිසක් තරඟ වදිති. මෙයින් 30%ක් පමණ වයස අවුරුදු 40ට අඩු තරුණ අපේක්ෂකයින් වීම විශේෂත්වයකි.
මෙවර මැතිවරණයේ වඩාත්ම අවධානය දිනාගත් සටන පවතින්නේ ජාපා-5 (Jhapa-5) කොට්ඨාසයේය. එහිදී හිටපු අගමැති කේ.පී. ෂර්මා ඕලි (KP Sharma Oli) ට එරෙහිව හිටපු කත්මණ්ඩු නගරාධිපතිවරයෙකු සහ ප්‍රකට රැප් ගායකයෙකු වන බාලේන්ද්‍ර ෂා (Balendra Shah) තරඟ වදී. බාලේන්ද්‍ර ෂා තරුණ පරපුරේ ප්‍රබල ආකර්ෂණය දිනාගත් අපේක්ෂකයෙකි.
මැතිවරණ කටයුතු වෙනුවෙන් නේපාල රජය අද (04) සිට සිකුරාදා දක්වා රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් සියලුම ගොඩබිම් ප්‍රවාහන සේවා මැතිවරණය අවසන් වන තෙක් අත්හිටුවා තිබේ.















