ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ නව ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) නිලධාරීන් අතර විශේෂ හමුවක් පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙහිදී අධ්‍යාපනය සඳහා මානව සම්පත් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය (HRDEP) පිළිබඳව අග්‍රාමාත්‍යවරිය දැනුවත් කිරීමට ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීහු පියවර ගත්හ.
උසස් පෙළ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම, විෂයමාලාවන් නවීකරණය කිරීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ශ්‍රම බලකායේ කාර්යක්ෂමතාව ශක්තිමත් කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු විය. එසේම අධ්‍යාපන අංශය කළමනාකරණය කිරීමේ සැලසුම් ක්‍රමවත්ව සකස් කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ අවශ්‍යතාවය සහ ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය පිළිබඳව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, ජාතික සංවර්ධනයට සෘජුව දායක විය හැකි කුසලතා පූර්ණ මානව සම්පතක් ගොඩනැගීම රජයේ මූලික ඉලක්කය බව සඳහන් කළාය. රජය ගෙන යන මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට අවශ්‍ය තාක්ෂණික සහාය මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් ලබා දීමට ද ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීහු මෙහිදී සිය කැමැත්ත පළ කළහ.
මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ඇතුළු උසස් නිලධාරීන් සහ තාක්ෂණික විශේෂඥයින් පිරිසක් සහභාගී වූහ.














