2026 වසරේ පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය සඳහා ඉරානය සහභාගී වීම සම්බන්ධයෙන් තමාට කිසිදු ගැටලුවක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. අමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව සම සත්කාරකත්වය දරන මෙම දැවැන්ත ක්‍රීඩා මංගල්‍යය එළඹෙන ජුනි 11 වැනිදා සිට ජූලි 19 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. මැදපෙරදිග කලාපයේ අමෙරිකාව සහ ඉරානය අතර පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ ඉරාන කණ්ඩායම අමෙරිකාවට පැමිණීම පිළිබඳව ලෝකයේ දැඩි අවධානයක් යොමු වී ඇති පසුබිමක ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර ඇත.
ඉරානය මේ වන විට ඉතා දුර්වල මට්ටමක පවතින රටක් බව පවසන ජනාධිපතිවරයා, ඔවුන් ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම ගැන තමා කිසිසේත්ම තැකීමක් නොකරන බව “Politico” පුවත් සේවය සමඟ පවසා තිබේ. පසුගිය වසරේදී අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ අවස්ථාවේදී පවා ඉරානය තරඟාවලියෙන් ඉවත් නොවීමට තීරණය කර තිබුණි. කෙසේ වෙතත්, වර්තමානයේ පවතින අතිශය අවදානම් සහගත තත්ත්වය හමුවේ ඉරාන පාපන්දු සම්මේලනයේ සභාපති මෙහ්දි ටාජ් පවසා ඇත්තේ මෙවර ලෝක කුසලානය පිළිබඳව විශාල බලාපොරොත්තු තබා ගැනීම දුෂ්කර වී ඇති බවයි.














