ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින 28 හැවිරිදි ස්විස්ටර්ලන්ත ජාතික ගුරුවරයෙකු වන ජියෑන් මුලර් (Gian Muller) මහතාට අස්ථානගත වූ ඔහුගේ වටිනා ඇපල් (Apple) වර්ගයේ ජංගම දුරකථනය පැය කිහිපයක් ඇතුළත සොයා දීමට දඹුල්ල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් සමත් වී තිබේ.
මහනුවර සිට අනුරාධපුර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයකින් දඹුල්ලට පැමිණි මුලර් මහතාට සිය දුරකථනය අහිමි වී ඇති බව දැනී ඇත්තේ බස් රථයෙන් බැසීමෙන් පසුවය. වහාම ක්‍රියාත්මක වූ පොලිස් සැරයන් (46389) යූ. කේ. නිහාල් මහතා, බස් රථයේ හිමිකරු සහ රියදුරු පාර්ශවය සම්බන්ධ කර ගනිමින් විමර්ශන ආරම්භ කර ඇත. බස් රථයේ ඇති ආරක්ෂිත කැමරා (CCTV) පද්ධතිය පරීක්ෂා කරන බවට පොලිසිය කළ දැනුම් දීමෙන් පසු, රියදුරු විසින් අදාළ දුරකථනය පොලිසියට ගෙනැවිත් භාර දී තිබේ.
තම අධ්‍යාපන කටයුතුවලට අදාළ වටිනා දත්ත රැසක් අඩංගු වූ දුරකථනය නැවත ලැබීම පිළිබඳව අතිශය හැඟීම්බර වූ ජියෑන් මුලර් මහතා, “මගේ ජීවිතය නැවත ලැබුණා හා සමානයි,” යනුවෙන් පවසමින් ශ්‍රී ලංකා පොලිසියේ කාර්යක්ෂම සේවාවට සිය ප්‍රණාමය පුද කළේය. පොලිසිය කළ මෙම සුවිශේෂී මැදිහත් වීම පිළිබඳව ජාත්‍යන්තර සංචාරක වෙබ් අඩවි හරහා ලෝකයටම දැනුම් දෙන බව පවසමින් ඔහු පොලිසියෙන් පිටව ගොස් ඇත.














