අප්‍රිකානු කලාපයේ ඩිජිටල් විප්ලවයට නව පරිච්ඡේදයක් එක් කරමින්, ඉතියෝපියාවේ අගනුවර වන අඩිස් අබාබා (Addis Ababa) හි ‘බෝලේ’ (Bole) දිස්ත්‍රික්කයේ ප්‍රථම “ස්මාර්ට්” හෙවත් නිලධාරීන් රහිත (Unmanned) පොලිස් ස්ථානය විවෘත කර තිබේ. සාම්ප්‍රදායික පොලිස් ස්ථානයක දක්නට ලැබෙන කලබලකාරී ස්වභාවය, නිලධාරීන් පෝලිම් ගැසී සිටීම හෝ පැමිණිලිකරුවන් බංකු මත බලා සිටින දසුන් මෙහි දක්නට නොලැබෙන අතර ඒ වෙනුවට ඇත්තේ පරිගණක තිර (Tablets) සහිත කුටි පෙළකි.
මහජනතාවට තමන්ට ඇති ගැටලුව හෝ අපරාධ වාර්තාව තිරය මත ඇති උපදෙස් අනුව ඇතුළත් කළ හැකි අතර, එවිට දුරස්ථ ස්ථානයක සිටින සැබෑ පොලිස් නිලධාරියෙකු තිරය මත දර්ශනය වෙමින් අවශ්‍ය විමර්ශන කටයුතු සිදු කරයි. ඉතියෝපියානු අග්‍රාමාත්‍ය අබියි අහමඩ් (Abiy Ahmed) මහතාගේ ඩිජිටල් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ, පොලිස් නිලධාරීන් හිඟ ප්‍රදේශවල පවා මහජනතාවට පැය 24 පුරාම පොලිස් සේවාවන් ලබා දීමයි. තාක්ෂණය ඔස්සේ පොලිස් සේවය ජනතාවට සමීප කිරීම මෙහි ප්‍රධාන ඉලක්කය බව තාක්ෂණික ව්‍යාප්ති අංශයේ ප්‍රධානී කොමදෝරු දෙමිසී යිල්මා (Cdr Demissie Yilma) පවසයි.
ව්‍යාපෘතිය ආරම්භ කළ මුල් සතිය තුළදී ගමන් බලපත්‍ර අස්ථානගත වීම් සහ මූල්‍ය වංචා පිළිබඳ පැමිණිලි කිහිපයක් සාර්ථකව මෙහිදී ලියාපදිංචි කර ඇත. ඉදිරියේදී මෙම ස්මාර්ට් පොලිස් ස්ථාන ජාලය රට පුරා ව්‍යාප්ත කිරීමට ඉතියෝපියානු රජය සැලසුම් කර තිබේ.














