මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුදමය වාතාවරණය සහ හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා නාවික ගමනාගමනයට එල්ල වී ඇති බාධා හේතුවෙන්, ලොව ප්‍රමුඛතම නැව් සමාගමක් වන ‘Maersk’ සිය භාණ්ඩ ප්‍රවාහන ගාස්තු වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබේ. ආරක්ෂක අවදානම් හේතුවෙන් එම මුහුදු මාර්ගය ඔස්සේ නෞකා යාත්‍රා කිරීම අතිශය දුෂ්කර වී ඇති බැවින් මෙම තීරණය ගත් බව සමාගම නිවේදනය කරයි.
නව ගාස්තු සංශෝධනය යටතේ මැදපෙරදිග රටවල් රැසක් සඳහා “හදිසි භාණ්ඩ ප්‍රවාහන අතිරේක ගාස්තුවක්” (Emergency freight surcharge) හඳුන්වා දී ඇත. ඒ අනුව අඩි 20 වියළි බහාලුමක් සඳහා අමෙරිකානු ඩොලර් 1,800ක් ද, අඩි 40 සහ 45 බහාලුම් සඳහා ඩොලර් 3,000ක් ද අතිරේකව අය කෙරේ. වඩාත් කැපී පෙනෙන ලෙස ශීතකරණ (Reefers) සහ විශේෂ උපකරණ සහිත බහාලුම් සඳහා අය කරන අතිරේක ගාස්තුව ඩොලර් 3,800ක් දක්වා ඉහළ දමා තිබේ.
මෙම ගාස්තු වැඩිවීම එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, කටාර්, බහරේන්, කුවේට්, ඉරාකය සහ ඕමානය යන රටවල් සමඟ සිදුවන වෙළෙඳ ගනුදෙනු සඳහා සෘජුවම බලපානු ඇත. විකල්ප ගමන් මාර්ග භාවිත කිරීම නිසා මෙහෙයුම් පිරිවැය ඉහළ යාම මෙම තීරණයට හේතු වී ඇති අතර, මෙය ඉදිරියේදී ගෝලීය සැපයුම් දාමයට සහ පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යාමට ද බලපෑ හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














