බ්‍රිතාන්‍ය වීසා ක්‍රමය අනිසි ලෙස භාවිත කරමින් දේශපාලන රැකවරණ (Asylum) පැතීම වැළැක්වීමේ අරමුණින් රටවල් හතරක සිවිල් වැසියන් සඳහා ශිෂ්‍ය වීසා නිකුත් කිරීම වහාම අත්හිටුවීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබේ. බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු ලේකම් ශබානා මහමුද් මහත්මිය විසින් ප්‍රකාශයට පත් කළ මෙම පෙර නොවූ විරූ තීරණයට අනුව ඇෆ්ගනිස්ථානය, මියන්මාරය, කැමරූන් සහ සුඩානය යන රටවල සිසුන් සඳහා මින් ඉදිරියට අධ්‍යාපන වීසා නිකුත් නොකෙරෙන අතර ඇෆ්ගනිස්ථාන වැසියන් සඳහා වන රැකියා වීසා (Work Visas) ද මෙහිදී අත්හිටුවා ඇත. 2021 වසරේ සිට මෙම රටවලින් පැමිණි සිසුන් අතරින් දේශපාලන රැකවරණ පතන්නන්ගේ සංඛ්‍යාව සියයට 470කට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් ඇති බවත්, එය බ්‍රිතාන්‍ය බදු ගෙවන්නන්ගේ මුදල්වලට විශාල බරක් වී ඇති බවත් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි.
බ්‍රිතාන්‍ය රජය අවධාරණය කරන්නේ යුද්ධයෙන් සහ පීඩාවන්ගෙන් පලා එන සැබෑ සරණාගතයින්ට බ්‍රිතාන්‍යය සැමවිටම රැකවරණය ලබා දුන්නද, නීත්‍යානුකූල වීසා මාර්ග “පසුපස දොරටුවකින්” (Backdoor) ඇතුළු වීමට භාවිත කරන පිරිස්වලට ඉඩ ලබා නොදෙන බවයි. ලබන බ්‍රහස්පතින්දා (මාර්තු 05) සිට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ක්‍රියාත්මක කෙරෙන මෙම නව නීති යටතේ ඉදිරියේදී සරණාගත තත්ත්වය ද සමාලෝචනයට ලක් කෙරෙන අතර එය මාස 30ක තාවකාලික කාලයකට පමණක් සීමා කිරීමට ද රජය සැලසුම් කර තිබේ. මෙම දැඩි සංක්‍රමණ නීති හරහා දේශසීමා පාලනය සහ වීසා පද්ධතියේ විනිවිදභාවය යළි තහවුරු කිරීමට බලාපොරොත්තු වන බව ස්වදේශ කටයුතු ලේකම්වරිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.














