“සංචලතාවය බලගැන්වීම – සැමට ඇතුළත් වූ අනාගතයක් ගොඩනැගීම” යන තේමාව යටතේ මෙවර ජාත්‍යන්තර රෝද පුටු දිනය සැමරීම නිමිත්තෙන් ජපානයේ සකුරා ආයතනය මෙරටට රෝද පුටු 300ක විශේෂ පරිත්‍යාගයක් සිදු කර තිබේ. මෙම රෝද පුටු විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සහ අදාළ සත්කාරක සේවා සපයන ආයතන වෙත බෙදාදීමේ නිල උත්සවය ඊයේ (01) රාගම රක්තවාතවේදී හා පුනරුත්ථාපන රෝහලේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ යන මහත්වරුන් සහභාගී වූහ. ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවකට ස්වාධීනත්වය, ගෞරවය සහ සමාජීය අන්තර්කරණය ලබා දීමේදී රෝද පුටුවක ඇති අත්‍යවශ්‍ය කාර්යභාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මෙම ජාත්‍යන්තර දින සැමරුමේ ප්‍රධාන අරමුණයි. විශේෂයෙන්ම ආබාධ සහිත ප්‍රජාව සුවපත් කිරීමට රාගම රක්තවාතවේදී හා පුනරුත්ථාපන රෝහල ඉටුකරන සුවිශාල මෙහෙවර මෙහිදී අමාත්‍යවරුන්ගේ ඇගයීමට ලක්විය.
මෙම උත්සවය සඳහා ග්‍රාමීය සංවර්ධන හා සමාජ ආරක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුගත් වසන්ත සහ ස්ටෙෆනි ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ. තවද අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රීනායක, රෝහල් ප්‍රධානී වෛද්‍ය චන්ද්‍රගුප්ත රණසිංහ සහ ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජයමාලි සී. වික්‍රමාරච්චි යන මහත්ම මහත්මීහු ද මෙම මානුෂීය කටයුත්තට සිය දායකත්වය දැක්වූහ.













