මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති දරුණු යුදමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම් අවම කර ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (04) ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණි. ඉදිරියේදී ඇති විය හැකි තත්ත්වයන් නිශ්චිතව උපකල්පනය කළ නොහැකි වුවත්, සෑම ක්ෂේත්‍රයකම සිදුවන නව වර්ධනයන් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවෙමින් මෙම අභියෝගය සාමුහිකව ජය ගත යුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. විශේෂයෙන්ම ඉන්ධන සහ ගෑස් සැපයුම, සංචාරක කර්මාන්තය, අපනයන ආදායම සහ ආහාර සුරක්ෂිතතාව කෙරෙහි මෙම යුද්ධය මඟින් එල්ල විය හැකි බලපෑම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු විශ්ලේෂණය කෙරිණි.බලශක්ති සහ ආහාර සුරක්ෂිතතාව: දැනට පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වුවද, ලෝක වෙළඳපොළේ මිල උච්ඡාවචනයන් හමුවේ ඉදිරි තොග කළමනාකරණය කරගැනීමට ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. ගෑස් සංචිත පවත්වාගෙන යාමේදී පවතින ගබඩා පහසුකම් පිළිබඳ ගැටලුවලට කෙටිකාලීන විසඳුම් සෙවීම සහ යුද්ධය නිසා උද්ධමනය ඉහළ යාම පාලනය කරමින් ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රමවේද පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
නාවුක සහ වරාය කටයුතු: සූවස් ඇළ සහ හෝමූස් සමුද්‍ර සන්ධිය වැනි තීරණාත්මක මුහුදු මාර්ග අවහිර වීමෙන් නාවුක ගමනාගමනයට එල්ල වන බාධා හමුවේ කොළඹ වරායට සිදුවන බලපෑම අවම කර ගැනීමට සාකච්ඡා කෙරිණි. ශ්‍රී ලංකාව සමඟ දිගුකාලීනව කටයුතු කරන නාවුක සමාගම්වල ඉල්ලීම පරිදි ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දෙමින් වරාය මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට ඇති හැකියාව පිළිබඳව ද ජනාධිපතිවරයා නිලධාරීන්ගෙන් විමසා සිටියේය.














