ශ්‍රී ලාංකේය තරුණ ප්‍රජාව අතර සහකම්පනය සහ එකමුතුකම වර්ධනය කරමින් ජාතිය ගොඩනැගීමේ අරමුණින් ක්‍රියාත්මක වන Youth Link Sri Lanka වැඩසටහන හෙට (05) පස්වරු 1.30 ට මඩකලපුවේදී නිල වශයෙන් ආරම්භ වීමට නියමිතයි. ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන මෙම වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (04) තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතාගේ සහ සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. ආගම්, ජාති හෝ කුල භේදයකින් තොරව සියලු තරුණ තරුණියන් එකම අරමුණක් වටා ඒකරාශී කිරීම මෙහි ප්‍රධාන අභිප්‍රාය වේ.
දිස්ත්‍රික්ක අතර තරුණ හුවමාරුව: හෙට ආරම්භ වන මඩකලපුව වැඩසටහන සඳහා ගම්පහ, අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල තරුණ තරුණියන් සහභාගී වීමට නියමිතයි. එමෙන්ම පස්වරු 2.00 ට අම්පාර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ද වැඩසටහනක් ඇරඹෙන අතර ඒ සඳහා මාතලේ සහ කුරුණෑගල තරුණ පිරිස් එක්වනු ඇත. මෙම මුල් අදියර යටතේ උතුරු, නැගෙනහිර සහ මධ්‍යම පළාත් මූලික කර ගනිමින් වැඩසටහන් 20 ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
Connect – 2026 Youth Clubs: මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ “Connect – 2026 Youth Clubs” තේමාව යටතේ යෞවන සමාජ සම්මේලනයේ ලියාපදිංචි සමාජ ආශ්‍රිතවයි. වයස අවුරුදු 18 ත් 29 ත් අතර තරුණ තරුණියන් 200 කට ආසන්න පිරිසක් සහභාගී වන මෙම දින හයක දේශීය හුවමාරු වැඩසටහන, මැයි මාසයේදී එහි පළමු අදියර අවසන් කරන අතර දෙවන අදියර මැයි සිට සැප්තැම්බර් දක්වා පැවැත්වීමට නියමිතයි.














