සිම්බාබ්වේ රාජ්‍යයේ පවතින උග්‍ර දරිද්‍රතාවය හමුවේ එරට දරුවන්ගේ ළමා කාලය අහිමි වෙමින් පවතින බව හෙළිදරව් කරමින්, වයස අවුරුදු හය වැනි කුඩා වියේ පසුවන දරුවන් පවා කසළ ගොඩවල් අතර ලෝහ කොටස් එකතු කිරීමේ අනතුරුදායක රැකියාවල නිරත වන බව වාර්තා වේ. එරට ශ්‍රම බලකායෙන් සියයට 14ක්ම ළමයින්ගෙන් සමන්විත වීම ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු කරුණක් බවට පත්ව ඇත. හාරාරේ (Harare) අගනුවර පිහිටි සියාසෝ (Siyaso) වෙළඳපොළ ආශ්‍රිතව මෙම කුඩා දරුවන් වැසි දිනවල පවා ලෝහ කැබලි සෙවීම සඳහා වෙහෙසෙන අයුරු දැකගත හැකි අතර, ඔවුන් සොයා ගන්නා මෙම ලෝහ කොටස් අලෙවි කර ලබා ගන්නා සොච්චම් මුදලින් සිය පවුලේ සාමාජිකයින්ට ආහාර සොයා දීමට උත්සාහ කරයි.
මෙම දරුවන් රථවාහන එන්ජින් කොටස්, තඹ සහ පිත්තල ආලේපිත තහඩු වැනි ලෝහ වර්ග සොයමින් දිනය පුරාම වීදි සරන අතර, ඇතැම් අවස්ථාවලදී ඔවුන් සපා කෑමට ලුහුබඳින බල්ලන්ගෙන් සහ විවිධ රෝගාබාධවලින් ආරක්ෂා වීමට ද දැඩි අරගලයක නිරත වෙති. වැඩිහිටියන් ප්ලාස්ටික් සහ බෝතල් ප්‍රතිචක්‍රීකරණය සඳහා එකතු කරන අතරතුර, කුඩා දරුවන් මෙලෙස ලෝහ වෙළඳාමට යොමු වී ඇත්තේ පවතින ආර්ථික අගාධය හේතුවෙනි. ඔවුන් ජීවත් වන අතිශය දුෂ්කර නිවාස සංකීර්ණවල පවතින සෞඛ්‍යාරක්ෂිත නොවන වටපිටාව සහ පවතින අධික විරැකියාව හේතුවෙන් මෙලෙස පාසල් වියේ පසුවන දරුවන්ගේ ජීවිත අවදානමට ලක්ව තිබීම මානුෂීය අර්බුදයක් දක්වා වර්ධනය වෙමින් පවතින බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි.















