2026 අයි.සී.සී. පිරිමි විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක පළමු අවසන් පූර්ව තරගය හෙට (05) මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වීමට නියමිතය. මෙම තරගය පිළිබඳව අදහස් දක්වමින් එංගලන්ත හිටපු නායක මයිකල් ඇතර්ටන් (Michael Atherton) ප්‍රකාශ කළේ, ඉන්දියාව වත්මන් ශූරයන් ලෙස මෙවරත් ප්‍රියතම කණ්ඩායම වුවද, ඔවුන් පරාජය කළ නොහැකි (Unbeatable) කණ්ඩායමක් නොවන බවයි.
ඉන්දියානු කණ්ඩායම ඉතා දක්ෂ ක්‍රීඩකයන්ගෙන් සමන්විත වුවද, ඔවුන්ගේ පන්දු යැවීමේ අංශයේ සහ පන්දු රැකීමේ අංශයේ යම් දුර්වලතා පවතින බව ඇතර්ටන් පෙන්වා දෙයි. විශේෂයෙන්ම ප්‍රධාන පන්දු යවන්නන් පස්දෙනාගෙන් එක් අයෙකු හෝ දෙදෙනෙකුට එරෙහිව පිතිකරුවන් සාර්ථක වුවහොත්, එම අඩුව පිරවීමට අමතර පන්දු යැවීමේ විකල්පයක් (Spare option) ඉන්දීය කණ්ඩායමට නොමැති වීම එංගලන්තයට වාසියක් විය හැකි බව ඔහු සඳහන් කරයි.
මෙවර තරගාවලියේ එංගලන්ත ආරම්භක පිතිකරුවන් වන ජොස් බට්ලර් සහ ෆිල් සෝල්ට් තවමත් සිය සුපුරුදු දක්ෂතාවලට අවතීර්ණ වී නොමැත. බට්ලර් ඉනිම 7කදී රැස්කර ඇත්තේ ලකුණු 62ක් පමණි. කෙසේ වුවද, ප්‍රධාන පිතිකරුවන් දෙදෙනා සාර්ථක නොවී වුවද අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට හැකිවීම එංගලන්තයේ සෙසු ක්‍රීඩකයන්ගේ ආත්ම විශ්වාසය ඉහළ නැංවීමට හේතුවක් වී තිබේ.
ඉන්දියාව සහ එංගලන්තය යන රටවල් දෙකම මීට පෙර දෙවතාව බැගින් විස්සයි-20 ලෝක කුසලානය දිනා ඇති අතර, මෙවර ඔවුන් සැරසෙන්නේ තෙවැනි වරටත් ලෝක ශූරයන් වී ඉතිහාසගත වීමටයි. මෙය 2022 සහ 2024 වසරවලින් පසුව මෙම රටවල් දෙක අවසන් පූර්ව තරගයකදී එකිනෙකා හමුවන තෙවැනි අඛණ්ඩ අවස්ථාව ද වේ. ඇතර්ටන් පවසන පරිදි, බොහෝ විට මෙවර අවසන් මහා තරගය ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට ඉඩ ඇතත්, එංගලන්තය සිය උපරිම දක්ෂතා දැක්වුවහොත් ඉන්දියාවට ප්‍රබල අභියෝගයක් එල්ල කළ හැකිය.














