මිනිස් වාසභූමි සහ වගා බිම් ආශ්‍රිතව සැරිසරන වන සතුන්ගෙන් බෝග වගාවන්ට සහ ජන ජීවිතයට සිදුවන හානි අවම කිරීම සඳහා වූ විශේෂ වැඩසටහනකට අද (04) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය. අලි ඇතුන්, වල් ඌරන්, වඳුරන්, රිලවුන්, දඬුලේනුන් සහ මොනරුන් වැනි සතුන් නිසා මෙරට ග්‍රාමීය කෘෂිකාර්මික ජීවනෝපායන්ට සහ ආහාර සුරක්ෂිතතාවට එල්ල වී ඇති දැඩි බලපෑම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.
වන සතුන්ගෙන් සිදුවන වගා හානි කළමනාකරණය කිරීම සඳහා මහජනතාව, විශ්වවිද්‍යාල ප්‍රජාව, ගොවි සංවිධාන, පරිසරවේදීන්, රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම කෘෂිකර්ම සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු ඇතුළු සියලු පාර්ශ්වකරුවන්ගේ අදහස් ලබාගෙන තිබේ. ඒ අනුව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින් පුළුල් වැඩසටහනක් සකස් කර ඇත.
මෙම වැඩසටහනෙහි ඇතුළත් යෝජනා සමාලෝචනය කිරීමටත්, අලුතින් හඳුනාගනු ලබන යෝජනා ඇතුළත් කරමින් වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. ඒ සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සහ අදාළ අනෙකුත් අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ අමාත්‍ය කමිටුවක් පත් කෙරෙනු ඇත.
වගා හානි අවම කිරීම හරහා මෙරට කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීමත්, වනජීවී – මිනිස් ගැටුම් හේතුවෙන් සිදුවන දේපළ හානි සහ සමාජ-ආර්ථික ගැටලුවලට තිරසාර විසඳුම් ලබා දීමත් මෙහි ප්‍රධාන අරමුණ වේ.














