මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ, අනාගතය පිළිබඳ නිශ්චිත අනාවැකි කිව නොහැකි වුවද, සෑම අංශයක් පිළිබඳවම අඛණ්ඩ අවධානයෙන් පසුවෙමින් මෙම අභියෝගය ජය ගැනීමට සාමූහිකව කටයුතු කළ යුතු බවයි. ඉන්ධන, ගෑස්, සංචාරක ව්‍යාපාරය සහ අපනයන යන ක්ෂේත්‍ර කෙරෙහි එල්ල විය හැකි අවදානම කළමනාකරණය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් මාලාවක් නිකුත් කරන ලදී.
මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු වූයේ මෙරට උද්ධමනය පාලනය කිරීම සහ ජනජීවිතයට වන බලපෑම අවම කිරීම කෙරෙහිය. දැනට පවතින ඉන්ධන තොග ප්‍රමාණවත් වුවද, හෝමූස් සමුද්‍ර සන්ධිය සහ සූවස් ඇල වැනි ප්‍රධාන මුහුදු මාර්ග තාවකාලිකව වැසී යාමෙන් ඉන්ධන ප්‍රවාහනයට සහ මිල ගණන්වලට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. ගෑස් සංචිත පවත්වාගෙන යාමේදී පවතින ගබඩා පහසුකම් පිළිබඳ ගැටලුවට විසඳුමක් ලෙස හම්බන්තොට වරාය කෙටි කාලීන පියවරක් ලෙස භාවිතා කිරීමේ හැකියාව පිළිබඳව ද ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය.
යුරෝපයේ සිට පැමිණෙන සංචාරකයන් මැදපෙරදිග හරහා පැමිණෙන බැවින්, එම ක්ෂේත්‍රයට සිදුවන බලපෑම අවම කිරීමට විකල්ප ගුවන් මාර්ග පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. ආයෝජන ක්ෂේත්‍රය දිරිමත් කිරීම සඳහා සහන පැකේජයක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයට උපදෙස් දුන් අතර, දත්ත මධ්‍යස්ථාන වැනි නවීන තාක්ෂණික අංශ කෙරෙහි ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස හංස විජයසූරිය මහතාගේ මගපෙන්වීම යටතේ කටයුතු කරන ලෙස ද දැනුම් දුන්නේය. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ මහ බැංකු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.














