ඉන්දියන් සාගරයේ යාත්‍රා කරමින් තිබූ ඉරාන නාවික යාත්‍රාවකට ටෝපිඩෝ (Torpedo) ප්‍රහාරයක් එල්ල කර එය ගිල්වා දැමූ බව ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් නිල වශයෙන් තහවුරු කර තිබේ. රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි, ගාල්ලට නුදුරු මුහුදේදී සිදුවූ මෙම ප්‍රහාරය ඇමරිකානු හමුදා සබ්මැරීනයක් මගින් දියත් කර ඇත. ඇමරිකානු නිලධාරීන් පවසන්නේ මෙය ඉරානයට එරෙහිව ක්‍රියාත්මක වන පුළුල් යුද මෙහෙයුම්වල කොටසක් බවයි.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නාවික හමුදාව මෙම සිද්ධිය සම්බන්ධයෙන් දරන්නේ වෙනස්ම මතයකි. අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අදාළ නෞකාව ප්‍රහාරයකට ලක්වූ බවට පළවන වාර්තා තමන් ප්‍රතික්ෂේප කරන බවයි. අද අලුයම ලැබුණු ආපදා ඇමතුමකට අනුව ගුවන් හමුදාව හා එක්ව සිදුකළ මෙහෙයුමකින් ඉරාන නාවිකයන් 32ක් බේරාගෙන ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කළ බවත්, මෙය හදිසි අනතුරක් ලෙස සලකා කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. ඇමරිකාව ප්‍රහාරය ප්‍රසිද්ධියේ පිළිගනිද්දී ශ්‍රී ලංකාව එය ප්‍රතික්ෂේප කිරීම දැඩි රාජ්‍ය තාන්ත්‍රික කුතුහලයක් මතු කර තිබේ.














