ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය දියත් කර ඇති හමුදා ක්‍රියාමාර්ග මෙන්ම ඉරානය විසින් සිදු කරන ලද පෙරළා පහරදීම් ද එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට (UN Charter) සෘජුවම පටහැනි බව ඉරානය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ස්වාධීන ජාත්‍යන්තර සත්‍ය සෙවීමේ මෙහෙයුම (UN Independent International Fact-Finding Mission on Iran) ප්‍රකාශ කර තිබේ. ඕනෑම ස්වෛරී රාජ්‍යයක භෞමික අඛණ්ඩතාවයට හෝ දේශපාලන ස්වාධීනත්වයට එරෙහිව බලය භාවිතා කිරීම මෙමගින් දැඩි ලෙස හෙළා දැක ඇති අතර, ජාත්‍යන්තර නීතියට ගරු කිරීම සියලු පාර්ශ්වයන්ගේ වගකීමක් බව එම කණ්ඩායම අවධාරණය කරයි.
විශේෂයෙන්ම දකුණු ඉරානයේ මිනාබ් (Minab) ප්‍රදේශයේ ගැහැණු ළමුන්ගේ පාසලකට එල්ල වූ ප්‍රහාරයෙන් කුඩා දරුවන් රැසක් මියයාම පිළිබඳව මෙම විමර්ශන කණ්ඩායම සිය දැඩි කම්පනය පළ කර සිටියි. දැනටමත් තම රජයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට මැදිව සිටින ඉරාන වැසියන්, මෙම මහා පරිමාණ විදේශීය හමුදා මෙහෙයුම් හේතුවෙන් තවදුරටත් අසරණ වී ඇති බව ඔවුන් පෙන්වා දෙයි. බන්ධනාගාරගත කර සිටින දහස් ගණනක් වූ දේශපාලන සිරකරුවන් ද මෙම ගුවන් ප්‍රහාර හමුවේ දැඩි අවදානමකට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.














