2026 T20 ලෝක කුසලාන තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකාව පරදා කඩුලු 9ක අතිශය ප්‍රබල ජයක් වාර්තා කිරීමට නවසීලන්තය අද (04) සමත් විය. කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී දකුණු අප්‍රිකාව ලබා දුන් ලකුණු 170ක ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 12යි පන්දු 5ක් වැනි කෙටි කාලයකදී සපුරා ගැනීමට නවසීලන්ත පිතිකරුවෝ සමත් වූහ. මෙය T20 ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයකදී වාර්තා වූ වඩාත්ම ඒකපාර්ශ්වික ජයග්‍රහණයක් ලෙස ඉතිහාසයට එක්වේ.
නවසීලන්ත ඉනිම වෙනුවෙන් දරුණු ප්‍රහාරයක නිරත වූ ෆින් ඇලන් පන්දු 33කදී නොදැවී ලකුණු 100ක් රැස් කළේ හයේ පහර 8ක් සහ හතරේ පහර 9ක් සමඟිනි. ඔහු සිය අර්ධ ශතකය පන්දු 19කින් සම්පූර්ණ කළ අතර එය මෙම ලෝක කුසලානයේ සම වේගවත්ම අර්ධ ශතකය ලෙස ද සටහන් විය. ඔහුට අනගි සහයක් ලබා දුන් ටිම් සෙයිෆර්ට් පන්දු 33කදී ලකුණු 58ක් ලබා ගත් අතර ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 9.1කදී ලකුණු 117ක සබඳතාවක් පැවැත්වූහ. දකුණු අප්‍රිකානු ඉනිම වෙනුවෙන් මාර්කෝ ජැන්සන් පන්දු 30කදී නොදැවී ලකුණු 55ක් රැස් කරමින් යම් සටනක් ලබා දුන්නද, ඔවුන්ගේ පන්දු යවන්නන්ට නවසීලන්ත පිතිකරුවන් මෙල්ල කිරීමට කිසිදු අවස්ථාවක් හිමි නොවීය.














