මැදපෙරදිග කලාපයේ උග්‍ර වෙමින් පවතින යුදමය වාතාවරණය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ පිහිටි විදේශ තානාපති කාර්යාල, මහකොමසාරිස් කාර්යාල සහ ඒවායේ නිල නිවාස ඇතුළු ස්ථාන 85ක් සඳහා විශේෂ ආරක්ෂාවක් සපයා ඇති බව රජය නිල වශයෙන් ප්‍රකාශ කරයි. අද (04) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව අනාවරණය කළේය. ජාත්‍යන්තර මට්ටමින් ඇති වී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය මෙරට තුළ වෙසෙන විදේශිකයන්ගේ හෝ රාජ්‍ය තාන්ත්‍රික මධ්‍යස්ථානවල ආරක්ෂාවට තර්ජනයක් නොවීමට රජය මෙම පියවර ගෙන තිබේ.
විශේෂයෙන්ම ඇමරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය වැනි ගැටුමට සෘජුවම සම්බන්ධ රටවල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇති බවත්, ඒ අනුව එම ස්ථාන 85 සඳහා අතිරේක පොලිස් සහ හමුදා ආරක්ෂාවක් යොදවා ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. මෙරට ජාතික ආරක්ෂාව සහ විදේශිකයන්ගේ සුරක්ෂිතතාව සම්බන්ධයෙන් රජය උපරිම අවධානයෙන් පසුවන බව ද ඔහු අවධාරණය කළේය.














