පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ISIS ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් මොහොමඩ් මිල්හාන් නමැති තරුණයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) තීන්දු කළේය. 2019 වසරේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදුකළ මෙම අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් හේතු ඉදිරිපත් කිරීමට පොලිසිය අපොහොසත් වී ඇති බව විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නේය. ඒ අනුව, අත්අඩංගුවට ගැනීම සිදුකළ උප පොලිස් පරීක්ෂකවරයා සිය පෞද්ගලික මුදලින් රුපියල් 30,000ක් සහ රජය විසින් රුපියල් 20,000ක වන්දියක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවට නියෝග කෙරිණි.
අර්ජුණ ඔබේසේකර, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාග වූ අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඊට හේතු සැකකරුට දැනුම් නොදීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව අධිකරණය අවධාරණය කළේය. සැකකරු ISIS ලැයිස්තුවේ සිටි බවට පොලිසිය තර්ක කළද, ඔහු අපරාධයකට සම්බන්ධ බවට සාධාරණ සැකයක් ඇති කිරීමට අවශ්‍ය කරුණු ඉදිරිපත් වී නොමැති බව තීන්දුවේ සඳහන් විය. විශේෂයෙන්ම ඔහුට නිකුත් කළ අත්අඩංගුවට ගැනීමේ රිසිට් පතේ පාස්කු ප්‍රහාරයට අදාළ කිසිදු තොරතුරක් ඇතුළත් නොවීම ද මෙහිදී අධිකරණයේ විශේෂ අවධානයට යොමු විය.














