ඉරානය විසින් එල්ල කරනු ලබන දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ කටාර්හි පිහිටි ඇමරිකානු හමුදා කඳවුරුවල නවීනතම PAC-3 මිසයිල නාශක (Interceptors) තොග ශීඝ්‍රයෙන් අවසන් වෙමින් පවතින බවට ටෙලිග්‍රෑම් නාලිකා සහ විදේශීය ආරක්ෂක වෙබ් අඩවි වාර්තා කරයි. කටාර්හි අල් උඩෙයිඩ් (Al Udeid) ගුවන් කඳවුරට එල්ල වූ ප්‍රහාර හමුවේ අහසේදී විනාශ වූ මිසයිලවල සුන්බුන් පරීක්ෂා කිරීමේදී, ඒවා 1980 සහ 90 දශකවල නිෂ්පාදිත පැරණි PAC-2 (Patriot Advanced Capability-2) මාදිලියේ මිසයිල බවට හඳුනාගෙන තිබේ. මෙම පැරණි මිසයිල භාවිත කිරීම මගින් ඇමරිකානු හමුදාව සතු උසස් මට්ටමේ PAC-3 MSE මිසයිල තොග දැනටමත් අවසන් වී ඇති බවට හෝ ඒවා ඉතිරි කර ගැනීමට උත්සාහ කරන බවට ආරක්ෂක විචාරකයෝ සැක පළ කරති.
බ්ලූම්බර්ග් (Bloomberg) සහ ඩිෆෙන්ස් එක්ස්ප්‍රස් (Defense Express) වාර්තාවලට අනුව, පසුගිය දින පහ තුළ ඉරානය විසින් කලාපය පුරා බැලස්ටික් මිසයිල 770කට අධික ප්‍රමාණයක් දියත් කර ඇති අතර, ඒවා මැඩපැවැත්වීම සඳහා ඇමරිකාව සහ එහි මිත්‍ර රටවල් සිය මිසයිල නාශක තොගවලින් සැලකිය යුතු ප්‍රමාණයක් වැය කර තිබේ. කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සතු මිසයිල තොග ඉදිරි දින කිහිපය තුළ මුළුමනින්ම අවසන් වීමේ අවදානමක් පවතින බව ද පැවසේ. එක් PAC-3 මිසයිලයක් ඩොලර් මිලියන 5කට වඩා වටිනාකමකින් යුක්ත වන අතර, ඉරානය විසින් එල්ල කරන “ෂැහෙඩ්” (Shahed) වැනි අඩු පිරිවැය ඩ්‍රෝන යානා විනාශ කිරීමට මෙවැනි වටිනා මිසයිල වැය කිරීම ඇමරිකාවට දැඩි ආර්ථික සහ යුදමය පීඩනයක් එල්ල කර ඇති බව ජාත්‍යන්තර වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.














