පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කිරීමේ කටයුතු මේ වන විට ශීඝ්‍රයෙන් සිදුවන අතර එය ලබන අප්‍රේල් මාසයේ මුල් සති දෙක තුළ අවසන් කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි. ජාතික “පිරිසිදු ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ රුපියල් මිලියන 424ක වියදමින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වය හිමිවේ. පර්යන්ත දෙකකින් සමන්විත මෙම ගොඩනැගිල්ලේ බිම් මහල ප්‍රධාන බස් පර්යන්තය ලෙසත්, දෙවන මහල රියදුරු සහ කොන්දොස්තර මහතුන්ගේ විවේකී පහසුකම් සඳහාත්, තෙවන මහල පරිපාලන කටයුතු සඳහාත් වෙන් කර තිබේ. මීට අමතරව බස්, දුම්රිය සහ ගුවන් ගමන් පිළිබඳ තොරතුරු ලබාගත හැකි නව තොරතුරු මධ්‍යස්ථානයක් ද මෙහි ස්ථාපිත කිරීමට නියමිතය.














