2025 නොවැම්බර් මස අවසානයේ ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා (Ditwah) නිවර්තන සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ගේ සහන කටයුතු සඳහා යුරෝපා සංගමය (EU) විසින් අතිරේකව යුරෝ මිලියනයක (රුපියල් මිලියන 370කට අධික) මානුෂීය ආධාර ලබා දී තිබේ. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගම් දූත පිරිස අද (04) මේ බව නිවේදනය කළහ. මෙම නව මූල්‍ය ප්‍රතිපාදන සහන සේවා සපයන සහකරු සංවිධාන හරහා බෙදා හැරීමට නියමිත අතර, එමඟින් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය මූලික සේවාවන් සැපයීම සහ දැනට ක්‍රියාත්මක සහන මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කෙරේ.
මෙම ආපදා තත්ත්වය ඇති වූ වහාම යුරෝපා සංගමය විසින් හදිසි මානුෂීය ආධාර ලෙස යුරෝ මිලියන 2.35ක් මෙරටට ලබා දී තිබූ අතර, අද ලබා දුන් අතිරේක ප්‍රතිපාදනත් සමඟ ඩිට්වා සුළි කුණාටු සහන කටයුතු වෙනුවෙන් ඔවුන් ලබා දුන් මුළු ආධාර ප්‍රමාණය තවදුරටත් ඉහළ ගොස් ඇත. පීඩාවට පත් දිස්ත්‍රික්කවල නිවාස නැවත ගොඩනැගීම, සෞඛ්‍ය පහසුකම් සහ පිරිසිදු පානීය ජලය සැපයීම වැනි අත්‍යවශ්‍ය අවශ්‍යතා සඳහා මෙම මුදල් ප්‍රමුඛව යොදවනු ඇති බව යුරෝපා සංගම් දූත පිරිස වැඩිදුරටත් සඳහන් කළහ.














