ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල අධ්‍යාපන යටිතල පහසුකම් සහ සිසුන්ගේ සුභසාධනය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක ව්‍යාපෘති දෙකක් සඳහා මූල්‍ය ආධාර ලබාදීමට ජපාන රජය පියවර ගෙන තිබේ. “මනුෂ්‍ය සුරක්ෂිතතාව සඳහා වූ බිම්මට්ටමේ ව්‍යාපෘතිවලට ආධාර සැපයීමේ වැඩසටහන” (GGP) යටතේ මෙයට අදාළ ගිවිසුම් සඳහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා අද (04) අත්සන් තැබීය. 1989 වසරේ සිට ජපානය මෙම වැඩසටහන හරහා ශ්‍රී ලංකාවට ලබා දී ඇති මුළු ආධාර ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 62ක් පමණ වේ.
මෙම ආධාර යටතේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ළමා සංවර්ධන මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා ඇමරිකානු ඩොලර් 64,594ක් වෙන් කර ඇති අතර, එමගින් පවුල් ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන කාන්තාවන් සහ දැරියන් සඳහා ආරක්ෂිත නවාතැන්පොළක් ද සැපයීමට නියමිතය. දෙවන ව්‍යාපෘතිය ලෙස මඩකලපුව, කාත්තන්කුඩි මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් 2,100කට පෝෂ්‍යදායී ආහාර වේලක් සහනදායී මිලට ලබාදීම සඳහා එහි ආපනශාලාව නවීකරණය කිරීමට ඇමරිකානු ඩොලර් 39,249ක් ලබා දී ඇත. ජාතික සංහිඳියාව සහ සමාජ ආර්ථික සංවර්ධනය අතර ඇති සබඳතාව අතිශය වැදගත් බවත්, ගැටුම්වලින් පීඩාවට පත් උතුරු-නැගෙනහිර ප්‍රදේශ නගා සිටුවීමට ජපානය සැමවිටම කැපවී සිටින බවත් තානාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.














