2026 වසරේ පෙබරවාරි මාසය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන් 279,328ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිල වශයෙන් නිවේදනය කරයි. මෙය 2025 වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව 16.2%ක කැපී පෙනෙන වර්ධනයක් වන අතර, එමඟින් මෙරට සංචාරක ක්ෂේත්‍රයේ පවතින වේගවත් පිබිදීම මනාව පිළිබිඹු වේ. ඒ අනුව, 2026 වසරේ ගෙවී ගිය මාස දෙකක කාලය තුළ පමණක් මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 556,655ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් ඉන්දියාව, රුසියාව සහ එක්සත් රාජධානිය වැනි සාම්ප්‍රදායික වෙළෙඳපොළවල් මෙන්ම චීනයෙන් සංචාරකයන් පැමිණීම ඉහළ යාම ද බලපා ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් පිළිබඳ යම් අවදානම් මතු වුවද, පෙබරවාරි මාසය අවසන් වන විට මෙරට සංචාරක ක්ෂේත්‍රය සිය ඉලක්කගත මට්ටම් කරා ළඟා වීමට සමත් වී ඇත. රජයේ අපේක්ෂාව වන්නේ වසර අවසානය වන විට මිලියන 2.5 ඉක්මවූ සංචාරකයන් පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමයි.














