පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ යුද්ධයේ මුල් දිනවලට වඩා මේ වන විට ඉරානය එල්ල කරන මිසයිල ප්‍රහාර සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස අඩුවී ඇති බව අමෙරිකානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති ජෙනරාල් ඩෑන් කේන් (Dan Caine) ප්‍රකාශ කළේය. අද (04) පෙන්ටගනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ, ඉරානයේ හමුදා ශක්තිය සැලකිය යුතු ලෙස හීන වී ඇති බැවින් අමෙරිකානු ප්‍රහාර දැන් ඉරාන ගොඩබිම තුළ වඩාත් ගැඹුරට (Inland) ව්‍යාප්ත කරන බවයි. ඉරාන බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ආරම්භක දිනයට සාපේක්ෂව 86%කින් පහත වැටී ඇති බව ද එහිදී අනාවරණය විය.මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) සුවිශේෂී හෙළිදරව්වක් කරමින් කියා සිටියේ, ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු තීරයේදී අමෙරිකානු සබ්මැරීනයක් මගින් ඉරාන යුද නෞකාවක් ගිල්වා දැමූ බවයි. “IRIS Dena” නමැති මෙම නෞකාව ටෝර්පිඩෝ ප්‍රහාරයකින් ගිල්වා දැමීම, දෙවන ලෝක යුද්ධයෙන් පසු සතුරෙකුට අයත් නෞකාවක් ටෝර්පිඩෝ ප්‍රහාරයකින් විනාශ කළ පළමු අවස්ථාව ලෙස අමෙරිකාව හඳුන්වා දෙයි. මෙම ගැටුම්වලදී මේ වන විට අමෙරිකානු සෙබළුන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, කෙසේ වුවද ඉරාන පාලන තන්ත්‍රය අමෙරිකානු හමුදා ශක්තිය හමුවේ පරාජය වෙමින් පවතින බවත් ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














