ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයේ පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ (Regime Change) මෙහෙයුම් දිගටම කරගෙන ගියහොත්, ඊශ්‍රායලයේ නෙගෙව් (Negev) කාන්තාරයේ පිහිටි ඩිමෝනා (Dimona) න්‍යෂ්ටික මධ්‍යස්ථානය ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට ඉරාන හමුදා නිලධාරියෙකු අද (මාර්තු 05) අනතුරු ඇඟවූ බව ISNA පුවත් සේවය වාර්තා කළේය. ඊශ්‍රායලයේ ප්‍රකාශිත නොවන න්‍යෂ්ටික වැඩසටහනේ හදවත බඳු මෙම ස්ථානයට ප්‍රහාරයක් එල්ල කිරීම හුදෙක් යුදමය තත්ත්වය උත්සන්න කිරීමක් පමණක් නොව, මුළු මැදපෙරදිග කලාපයම දැවැන්ත විකිරණශීලී ව්‍යසනයකට (Radiological Disaster) ඇද දැමීමේ අවදානමක් පවතින බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
විශේෂයෙන්ම ඩිමෝනා මධ්‍යස්ථානයට සැතපුම් කිහිපයක් ඔබ්බෙන් පිහිටි ජෝර්දානය ඇතුළු අසල්වැසි රටවල් මෙම තර්ජනය හමුවේ දැඩි නොසන්සුන්තාවයකට පත්ව ඇති අතර, එවැනි ප්‍රහාරයක් එල්ල වුවහොත් ඇතිවන විකිරණශීලී වලාකුළු මගින් මිලියන සංඛ්‍යාත ජනතාවකගේ ජීවිත අවදානමට ලක්වනු ඇත. ඊශ්‍රායල පුවත්පත් වාර්තා කරන පරිදි, ඉරානයේ මෙම ප්‍රකාශයත් සමඟ ඩිමෝනා අවට ගුවන් ආරක්ෂක පද්ධති උපරිම මට්ටමින් සක්‍රිය කර ඇති අතර, ජාත්‍යන්තර ප්‍රජාව ඉරානයේ මෙම “න්‍යෂ්ටික බ්ලැක්මේල්” කිරීම දැඩි ලෙස හෙළා දැක තිබේ. ඇමරිකානු ආරක්ෂක අංශ පවසන්නේ න්‍යෂ්ටික මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල කිරීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් පමණක් නොව, එයට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිත කිරීමේ හැකියාව පවා විවෘත වන බවයි.














