ලෙබනනයේ බීරූට් අගනුවර දකුණු තදාසන්න ප්‍රදේශයේ පිහිටි ගොබෙයිරි (Ghobeiry) නිවාස සංකීර්ණ ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල ආරක්ෂක අංශ (IDF) විසින් අද (මාර්තු 05) මීට සුළු මොහොතකට පෙර හදිසි ඉවත් වීමේ නියෝගයක් නිකුත් කර තිබේ. විශේෂයෙන්ම අයුබ් වෙළඳපොළ (Ayoub Market) ආසන්නයේ හඳුනාගෙන ඇති හිස්බුල්ලා (Hezbollah) ඉලක්කවල සිට මීටර් 300ක ප්‍රමාණයක් වහාම හිස් කරන ලෙස සිවිල් වැසියන්ට නියෝග කර ඇති අතර, ඉදිරි මිනිත්තු කිහිපය තුළ එම ස්ථාන වෙත ප්‍රබල ගුවන් ප්‍රහාර එල්ල කිරීමට නියමිත බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශක අවිචේ අද්‍රායි (Avichay Adraee) පවසයි.
මෙම ඉවත් වීමේ අනතුරු ඇඟවීමත් සමඟ බීරූට් වැසියන් දැඩි භීතියට පත්ව ආරක්ෂිත ස්ථාන කරා පලා යමින් සිටින බව වාර්තා වන අතර, ඊශ්‍රායල ඩ්‍රෝන යානා ප්‍රදේශයට ඉහළින් පියාසර කරනු දක්නට ලැබෙන බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. හිස්බුල්ලා සංවිධානය සතු අවි ගබඩා සහ අණදෙන මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය පසුගිය දින කිහිපය පුරාම බීරූට් අගනුවරට මෙලෙස දරුණු ප්‍රහාර එල්ල කරමින් සිටී. මෙම ප්‍රහාරය ඉරාන-ඊශ්‍රායල මහා පරිමාණ යුද්ධයේ තවත් එක් පෙරමුණක් ලෙස සැලකෙන අතර, ලෙබනනයේ දකුණු ප්‍රදේශයේ ද මේ වන විට දරුණු ගැටුම් ඇවිලෙමින් පවතී.














