ඉරානයට එරෙහිව දියත් කර ඇති හමුදාමය ක්‍රියාමාර්ග නතර කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට බල කිරීම සඳහා අමෙරිකානු සෙනෙට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ විශේෂ යෝජනාවක් අද (05) අලුයම පරාජයට පත් විය. යුද බලතල පිළිබඳ මෙම ද්විපාර්ශ්වික යෝජනාවට පක්ෂව ඡන්ද 47ක් ලැබුණු අතර, එයට එරෙහිව ඡන්ද 52ක් ලැබීම නිසා යෝජනාව ඉදිරියට ගෙන යාමට නොහැකි වී තිබේ. ඩිමොක්‍රටික් පාක්ෂිකයන් සහ රිපබ්ලිකන් පාක්ෂිකයන් කිහිප දෙනෙකුගේ සහාය ඇතිව ගෙන ආ මෙම පනත් කෙටුම්පතේ මූලික අරමුණ වූයේ, කොංග්‍රස් මණ්ඩලයේ පූර්ව අනුමැතියකින් තොරව ඉරානයට එරෙහිව යුදමය ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපතිවරයාට ඇති බලය සීමා කිරීමයි.
මෙම යෝජනාව ඉදිරිපත් කළ පාර්ශවයන් තර්ක කළේ, ව්‍යවස්ථාවට අනුව යුද්ධ ප්‍රකාශ කිරීමේ බලය හිමිවිය යුත්තේ කොංග්‍රස් මණ්ඩලයට මිස ජනාධිපතිවරයාට පමණක් නොවන බවයි. කෙසේ වෙතත්, ට්‍රම්ප් පරිපාලනයට පක්ෂපාතී සෙනෙට් සභිකයන් ප්‍රකාශ කළේ, වත්මන් තත්ත්වය යටතේ ජනාධිපතිවරයාගේ තීරණ ගැනීමේ හැකියාව සීමා කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවයි. මෙම ඡන්ද ප්‍රතිඵලයත් සමඟ ඉරානයට එරෙහිව සිය අභිමතය පරිදි හමුදාමය මෙහෙයුම් දියත් කිරීමට ජනාධිපති ට්‍රම්ප්ට පවතින අවස්ථාව තවදුරටත් තහවුරු වී ඇත.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය නොසන්සුන්තාවය තවදුරටත් උත්සන්න වෙමින් පවතින පසුබිමක, අමෙරිකානු දේශපාලනය තුළ ද මේ සම්බන්ධයෙන් දැඩි බෙදීමක් නිර්මාණය වී තිබේ. මෙම යෝජනාව පරාජය වීම ස්පාඤ්ඤය වැනි යුරෝපා රටවල විරෝධය සහ ජාත්‍යන්තර ප්‍රජාවේ දැඩි අවධානයට ලක්වනු ඇතැයි විදේශ දේශපාලන විචාරකයෝ පවසති. විශේෂයෙන්ම න්‍යෂ්ටික බලශක්ති ව්‍යාපෘති සඳහා ජපානය සමඟ අත්වැල් බැඳගෙන සිටින ට්‍රම්ප් පරිපාලනය, මෙම යුදමය ස්ථාවරය හරහා සිය ගෝලීය බලය තහවුරු කිරීමට උත්සාහ කරමින් සිටින බව පෙනේ.














