ඉදිරි පැය කිහිපය තුළ ඉරාන ගුවන් සීමාවේ “සම්පූර්ණ සහ පරම ආධිපත්‍යය” අමෙරිකානු හමුදාවන් සතු කරගනු ඇති බව ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලීවිට් මහත්මිය ප්‍රකාශ කළාය. බදාදා පැවති මාධ්‍ය හමුවකදී ඇය සඳහන් කළේ, අමෙරිකානු සෙබළුන්ට තම ඉලක්ක සපුරා ගැනීම සඳහා ඉරාන අහස මුළුමනින්ම විවෘත කිරීම මෙහි අරමුණ බවයි. ‘ඔපරේෂන් එපික් ෆියුරි’ (Operation Epic Fury) මෙහෙයුම මේ වන විටත් විශාල සාර්ථකත්වයක් අත්කර ගෙන ඇති බවත්, ඉරානයේ බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව සටන ආරම්භ වූ දිනයට සාපේක්ෂව 86%කින් පහළ බැස ඇති බවත් අමෙරිකානු ඒකාබද්ධ මාධ්‍ය ප්‍රකාශකයෝ පෙන්වා දෙති.
ධවල මන්දිරය විසින් මෙම හමුදාමය ක්‍රියාමාර්ගය සඳහා ප්‍රධාන අරමුණු හතරක් ඉදිරිපත් කර ඇති අතර, ඉරාන පාලන තන්ත්‍රයේ බැලස්ටික් මිසයිල වැඩසටහන විනාශ කිරීම සහ කලාපය තුළ ඉරාන නාවික හමුදාවේ පැවැත්ම මුළුමනින්ම අතුගා දැමීම (Annihilate) ඉන් ප්‍රධාන වේ. මීට අමතරව අමෙරිකානු හමුදාවන්ට පහර දෙන ඉරාන හිතවාදී සටන්කාමී කණ්ඩායම් මර්දනය කිරීම සහ ඉරානය න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කිරීම වැළැක්වීම ද මෙහි සෙසු ඉලක්කයන් වේ. පසුගිය සති අන්තයේ ආරම්භ වූ මෙම ප්‍රහාර මාලාවත් සමඟ ඉරානය ද සිය අසල්වැසි රටවල් වෙත ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටින පසුබිමක අමෙරිකාවේ මෙම ප්‍රකාශය නිකුත් විය.
කෙසේ වෙතත්, අමෙරිකානු හමුදාවන්ගේ මෙම වේගවත් මැදිහත් වීම සම්බන්ධයෙන් ඇතැම් මිත්‍ර රටවල් අතර ද ව්‍යාකූල තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ. යුද විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ඉරාන ගුවන් සීමාව ආක්‍රමණය කිරීම හරහා මැදපෙරදිග කලාපයේ පවතින අස්ථාවරත්වය තවදුරටත් දරුණු විය හැකි බවයි. විශේෂයෙන්ම ස්පාඤ්ඤය වැනි රටවල් මෙම යුද්ධයට සිය විරෝධය පළ කර ඇති අතර, අමෙරිකානු සෙනෙට් මණ්ඩලය තුළ ද මෙම යුද බලතල පිළිබඳව දැඩි මතගැටුම් නිර්මාණය වී ඇත.














