රුපියල් මිලියන 20ක දැවැන්ත අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශ්‍රාමික ප්‍රධාන ලිපිකරුවෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (මාර්තු 4) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශ ආපනශාලාවේදී මෙම වැටලීම සිදුකර ඇත.
2018 වසරේදී අමාත්‍යාංශය වෙත කුලී පදනම මත ලබාගත් ගොඩනැගිල්ලක ගෙවීම් චෙක්පත් ප්‍රමාදයකින් තොරව ලබාදෙන බවට පොරොන්දු වී, අදාළ පෞද්ගලික ආයතනයෙන් අවස්ථා 07කදී මෙම මුදල් ලබාගෙන ඇති බවට ඔහුට චෝදනා එල්ල වේ.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මාර්තු 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. විශ්‍රාමිකයෙකු මෙතරම් විශාල අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.













