මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුද වාතාවරණය හමුවේ වුවද, මෙරට ඉන්ධන සැපයුමට කිසිදු බාධාවක් නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සභාපති ජනක රාජකරුණා මහතා අවධාරණය කරයි. ඉන්ධන හිඟයක් ඇතිවේ යැයි බියෙන් පෝලිම්වල රැඳී සිටීම හෝ අනවශ්‍ය ලෙස තෙල් තොග රැස්කිරීම අවශ්‍ය නොවන බව ද ඔහු පෙන්වා දෙයි.
සභාපතිවරයා පවසන පරිදි, දැනට මෙරට සතුව සති 5කට වඩා වැඩි කාලයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතී. විශේෂයෙන්ම පෙට්‍රල් දින 37කටත්, ඩීසල් දින 35කටත් සෑහෙන තොග ගබඩාවල ඇති බව ඔහු තහවුරු කරයි. ලංකාවට අවශ්‍ය නිමි ඉන්ධන වැඩි වශයෙන් ලැබෙන්නේ ඉන්දියාව, සිංගප්පූරුව සහ දකුණු කොරියාව වැනි රටවලින් බැවින් මැදපෙරදිග අර්බුදය සෘජුවම සැපයුමට බලනොපාන බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වෙතත්, අනවශ්‍ය ලෙස බිය වී ඉන්ධන රැස් කරන පිරිස් පාලනය කිරීම සඳහා භාජනවලට තෙල් නිකුත් කිරීම තාවකාලිකව තහනම් කර ඇති අතර, එවැනි පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ද පොලිසියට උපදෙස් දී ඇත.














