වෙනිසියුලාවේ පතල් සහ ඛනිජ සම්පත් ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බව වෙනිසියුලානු අන්තර්වාර ජනාධිපතිනි ඩෙල්සි රොඩ්රිගස් (Delcy Rodríguez) ප්‍රකාශ කරයි. අමෙරිකානු අභ්‍යන්තර කටයුතු ලේකම් ඩග් බර්ගම් (Doug Burgum) සමඟ කැරකස් අගනුවරදී පැවැති විශේෂ සාකච්ඡාවකින් පසු ඇය මේ බව අනාවරණය කළාය.
ජනවාරි මාසයේදී නිකොලස් මදුරෝ අත්අඩංගුවට පත්වීමෙන් පසු අමෙරිකානු ඉහළ පෙළේ නිලධාරියෙකු වෙනිසියුලාවේ සංචාරය කළ දෙවන අවස්ථාව මෙයයි. දැනටමත් සිය තෙල් ක්ෂේත්‍රය විදේශ ආයෝජන සඳහා විවෘත කර ඇති වෙනිසියුලාව, ඉදිරියේදී පතල් නීති සංශෝධනය කරමින් රන්, තඹ සහ අනෙකුත් වටිනා ඛනිජ නිස්සාරණය සඳහා අමෙරිකානු සමාගම්වලට වැඩි අවස්ථාවක් ලබාදීමට නියමිතය. මෙමඟින් දෙරට අතර ආර්ථික සබඳතා නව මාවතකට යොමු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















