මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට තේ කර්මාන්තයට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී ඊයේ (04) විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. ඕනෑම හදිසි තත්ත්වයකදී තේ කර්මාන්තයට සම්බන්ධ සියලු පාර්ශව ආරක්ෂා කිරීමට රජය කැපවී සිටින බව එහිදී අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා අවධාරණය කළේය.
මෙහිදී තේ නිෂ්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යාමටත්, අලෙවි කරගත නොහැකි වන තේ තොග ආරක්ෂිතව ගබඩා කර පසුව වෙළඳපොළට නිකුත් කිරීමටත් තීරණය විය. මීට අමතරව, තේ වතු හිමියන්ට සහ අපනයනකරුවන්ට අවශ්‍ය මූල්‍ය සහන ලබාදීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සහ කැබිනට් මණ්ඩලය සමඟ කඩිනමින් සාකච්ඡා කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














