වාද්දුව දුම්රිය ස්ථානයේදී අද (05) උදෑසන සිදුවූ අවාසනාවන්ත අනතුරකින් 42 හැවිරිදි තොරතුරු තාක්ෂණ පද්ධති විශේෂඥවරයෙකු (IT Specialist) ජීවිතක්ෂයට පත්ව තිබේ. අලුත්ගම සිට මරදාන බලා ධාවනය වූ අංක 317 දරන දුම්රිය වාද්දුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන අවස්ථාවේදී එයට ගොඩවීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇත.
මියගිය පුද්ගලයා වාද්දුව, බාලිකා පාරේ පදිංචිව සිටි දොන් අනුරාධ ඉන්දික පෙරේරා නමැති දෙදරු පියෙකි. දුම්රියට ගොඩවීමට උත්සාහ කිරීමේදී පය ලිස්සා ගොස් පාපුවරුව යටට ඇද වැටීමෙන් ඔහු මරණයට පත්ව ඇති බව වාද්දුව පොලිසිය පවසයි. වෘත්තියෙන් දක්ෂ තොරතුරු තාක්ෂණ නිලධාරියෙකු වූ ඔහුගේ අභාවය ප්‍රදේශවාසීන් කම්පනයට පත් කර ඇති අතර, වාද්දුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.














