ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු තීරයේදී අමෙරිකානු සබ්මැරීනයක් එල්ල කළ ප්‍රහාරයකින් ඉරාන යුද නෞකාවක් ගිල්වා දැමීමත් සමඟ, මේ වන විට ජාත්‍යන්තර ප්‍රජාවේ දැඩි අවධානය කොළඹ වරාය ආසන්නයේ නතර කර ඇති ඉරාන ‘බුෂෙහ්ර්’ (Busheir) නෞකාව දෙසට යොමුව තිබේ. කොළඹ වරායේ පිටත නැංගුරම් පොළට නාවික සැතපුම් 10ක් ඔබ්බෙන් පිහිටි මෙම නෞකාව පිළිබඳව Hindustan Times News පුවත් සේවය විශේෂ වාර්තාවක් ඉදිරිපත් කර ඇත.
ජාත්‍යන්තර මුහුදු තීරයේදී ඉරාන නාවික හමුදාවට අයත් ‘අයිරිෂ් ඩෙනා’ නෞකාව ටෝර්පිඩෝ ප්‍රහාරයකින් ගිල්වා දැමුවද, ‘බුෂෙහ්ර්’ නෞකාව මේ වන විට පවතින්නේ ශ්‍රී ලංකාවට අයත් දේශීය මුහුදු සීමාව තුළ වීම විශේෂත්වයකි. හෝමුස් සමුද්‍ර සන්ධියේදී ජාත්‍යන්තර නාවික ගමනාගමනයට එල්ල වූ තර්ජන මැඩපැවැත්වීම සඳහා අමෙරිකානු නාවික හමුදාව විසින් ‘ඩේනා’ නෞකාව සහ රුසියානු කිලෝ පන්තියේ (Kilo-class) සබ්මැරීන ඇතුළු යුද නැව් 17ක් ගිල්වා දමා ඇති පසුබිමක මෙම තත්ත්වය උද්ගත වී තිබේ.
මෙම ගැටුමට ඉන්දියාව මැදිහත් විය යුතු බවට ඇතැම් යුද විශේෂඥයන් මත පළ කළද, ඉන්දියාව අමෙරිකාව හෝ ඉරානය සමඟ සෘජු යුද්ධයක නොසිටින බැවින් ඒ සඳහා නෛතික පදනමක් නොමැති බව විචාරකයෝ පෙන්වා දෙති. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ පවතින මෙම යුදමය නොසන්සුන්තාව මෙරට ආරක්ෂාවට සහ නාවික කටයුතුවලට බලපාන ආකාරය පිළිබඳව බලධාරීන් දැඩි අවධානයෙන් පසුවේ.














