ගාල්ලේ සිට නාවික සැතපුම් 40ක් දුරින් පිහිටි ජාත්‍යන්තර මුහුදු තීරයේදී (ශ්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපය තුළ) ඉරාන නෞකාවකට අමෙරිකානු සබ්මැරීනයක් මගින් ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර නාවික නීතිය පිළිබඳ විශේෂඥ, නීතිඥ ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර මහතා විශේෂ කරුණු පැහැදිලි කිරීමක් සිදු කළේය. මෙහිදී ඔහු අවධාරණය කළේ මෙම සිද්ධිය සාමාන්‍ය වාණිජ නාවික නීතියට වඩා යුද නීතිය (Laws of War) යටතේ විග්‍රහ කළ යුතු එකක් බවයි.
නාවික සැතපුම් 12 සීමාව ශ්‍රී ලංකාවේ ස්වෛරී මුහුදු සීමාව වන අතර, සැතපුම් 40 සීමාව අනන්‍ය ආර්ථික කලාපයට (EEZ) අයත් වේ. ජාත්‍යන්තර නීතියට අනුව, සිවිල් නෞකාවලට අපගේ අවසරයකින් තොරව මෙම කලාපය හරහා ගමන් කළ හැකි වුවද, යුදමය තත්ත්වයක් යටතේ සබ්මැරීනයක් සැතපුම් 12 සීමාවට ඇතුළු වන්නේ නම්, එය මතුපිටට පැමිණ සිය රටේ ධජය ප්‍රදර්ශනය කරමින් යාත්‍රා කළ යුතු බව ඒ මහතා පෙන්වා දුන්නේය.
ප්‍රහාරය හේතුවෙන් සිදුවූ හානියට වන්දි ලබා ගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආචාර්ය ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, මෙවැනි යුදමය තත්ත්වයකදී සිවිල් හෝ වාණිජ නීති හරහා වන්දි ලබා ගත නොහැකි බවයි. ඒ සඳහා ජාත්‍යන්තර යුද අධිකරණය (International War Crimes Court/Tribunal) වෙත යාමට සිදු වන අතර, ශ්‍රී ලංකාව මැදිහත් නොවන පාර්ශවයක් ලෙස මධ්‍යස්ථව කටයුතු කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය. “අපි ඊයේ කළේ මානුෂීය මෙහෙයුමක්. නාවිකයන් කියන්නේ මිනිස්සු, ඒ අය ආරක්ෂා කළ යුතුයි. භාණ්ඩ අපිට අදාළ නැහැ,” යැයි ඔහු පැවසීය.
මෙම අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව මධ්‍යස්ථව සිටීම ඉතා වැදගත් බවත්, යම් හෙයකින් ත්‍රිකුණාමලය වරාය වැනි උපායමාර්ගික ස්ථාන විදේශ රටකට ලබා දී තිබුණේ නම්, ශ්‍රී ලංකාව ද නිරායාසයෙන්ම මෙම යුද්ධයේ පාර්ශවකරුවෙකු වීමට ඉඩ තිබූ බවත් ඔහු පෙන්වා දුන්නේය. බේරාගත් නාවිකයන් අදාළ නෞකාව ලියාපදිංචි රටට හෝ ඔවුන්ගේ මව් රටට භාර දීම ජාත්‍යන්තර සම්ප්‍රදාය බවත්, අපගේ මධ්‍යස්ථභාවය ආරක්ෂා කර ගැනීම ඉදිරි දරුණු ප්‍රතිවිපාක වළක්වා ගැනීමට හේතු වන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.














