ඉරාන නාවික හමුදාවට අයත් ‘අයිරිස් ඩෙනා’ (IRIS Dena) යුද නෞකාවට එල්ල වූ ප්‍රහාරයට තමන් සම්බන්ධ බවට එල්ල වන චෝදනා ඉන්දීය රජය විසින් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය අද (05) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, අදාළ ප්‍රහාරය සඳහා ඉන්දීය වරායක් යොදාගත් බවට ඇමෙරිකානු හමුදා ප්‍රධානියෙකු කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.
ගාල්ල ධීවර වරායට නාවික සැතපුම් 40ක් පමණ දුරින් වූ ජාත්‍යන්තර මුහුදු තීරයේදී ‘අයිරිස් ඩෙනා’ නෞකාව ප්‍රහාරයකට ලක්ව මුහුදුබත් වූ අතර, නෞකාවේ සිටි පුද්ගලයන් 32 දෙනෙකු ජීවග්‍රහයෙන් මුදාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් විය. ඔවුන් මේ වන විට ප්‍රතිකාර සඳහා ගාල්ල ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, නාවික හමුදාව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී පුද්ගලයන් 84 දෙනෙකුගේ මෘත ශරීර ගොඩබිමට රැගෙන විත් තිබේ.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකාව ඊයේ රාත්‍රියේ නිල වශයෙන් ප්‍රකාශ කළේ තමන් විසින් එල්ල කළ සබ්මැරීන ප්‍රහාරයකින් මෙම නෞකාව මුහුදුබත් වූ බවයි. ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ සිදුවූ මෙම යුදමය ගැටුම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය යොමුව ඇති අතර, ඉන්දියාව මෙයට සම්බන්ධ බවට පළවූ වාර්තා හේතුවෙන් කලාපීය රාජ්‍යතාන්ත්‍රික නොසන්සුන්තාවයක් ද හටගෙන ඇත.














