යාපනය, කයිට්ස් පොලිස් වසමට අයත් සුරුවිල් වෙරළ තීරයේදී ඊයේ (04) දහවල් සිදුකළ ඒකාබද්ධ වැටලීමකදී රුපියල් කෝටි ගණනක් වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 368ක දැවැන්ත තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. කයිට්ස් පොලිස් ස්ථානයේ නිලධාරීන්, නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන් එක්ව ලබාදුන් බුද්ධි තොරතුරකට අනුව මෙම සාර්ථක වැටලීම සිදුකර ඇත.
මෙම වැටලීමේදී වේලනී ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම මත්ද්‍රව්‍ය තොගය ධීවර බෝට්ටුවක් ආධාරයෙන් ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එන්නට ඇති බවට පොලිසිය සැක කරයි. මෙය මෑත කාලයේ උතුරු මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගයක් ලෙස සැලකෙන අතර, අත්අඩංගුවට ගත් සැකකරු සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කයිට්ස් පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
මෙම මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් සහ මෙරට බෙදාහැරීමේ ජාලය අනාවරණය කර ගැනීම සඳහා කයිට්ස් පොලිසිය මගින් මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.















